Sunday, June 10, 2012

උදව්කරන්න ඕනේ කෙළගහනවා වගේ

.ළඟදි දවසක ගමනක් ‍යද්දී මනුස්ස‍යෙක් ජංගම දුරකතන‍යෙන් කාටදෝ හොඳටම බණිනවා.
" ඔ‍ය මිනිහට  අරකට සල්ලි දුන්නේ මම. එදා කවුරුවත් නෑ.
අද මට කතාකළෙත් නෑ. අහවල් වැඩේට සම්පූර්ණ‍යෙන්ම උදව් කළේ මම.එහෙම නොකළානම් මිනිහ ඔතන නෑ.මිනිහට වගකීමක් ති‍යෙනවා තමුන්ට උදව් කළේ කවුද කි‍යලා මතක ති‍යාගන්න. අරකට මෙච්චරක් මම සල්ලි දුන්නා. අනිකට මෙච්චරක් මම සල්ලි දුන්නා."


මෙකී නොකී විදි‍යට මට පැ‍ය ගාණක් ‍යනකම් මේ විකාර‍ය අහන් ඉන්න සිද්දවුණා. පේන දෙ‍යක් නම් ඇස් වහගෙන හරි ඉන්න තිබ්බත් ඇහෙන දේකට මොනවා කරන්නද?
අනික හැතම්ම ගාණක් දුරට ඇහෙන සද්දෙන් කෑගහද්දී.
මට තේරුණ විදි‍යට මේ මනුස්ස‍යා කාටහරි ගොඩක් කල් ගොඩක් උදව් කරලා තිබුණත් ‍යම් හේතුවක් නිසා අදාළ පුද්ගල‍යාඒ මනුස්ස‍යා සෑහීමකට පත්වෙන විදි‍යට ප්‍රති උපකාර‍යක් හෝ මොකක් හෝ සැලකීමක් කරලා නෑ.මේක හිතාමතාම කරපු දෙ‍යක් හෝ අහම්බෙන් වුණදෙ‍යක් කි‍යලා හිතමුකෝ. ඒත් මොකටද මෙහෙම හැසිරෙන්නේ?

එතකොට මට මතක් වුණේ අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ බණකට දේශනා කළ කතාවක්. උන්වහන්සේ සඳහන් කළේ ( මතක් විදි‍යට පාලි පාඨ‍යත් එක්කම ) උදව්කරන්න ඕනේ කෙළගහනවා වගේ.

ඒ කි‍යන්නේ අපි කෙළ ගැහුවම ඒක එතනින් ඉවර‍යි. ආ‍යේ ඒක ගැන කිසිම සිතීමක් නෑ.කොච්චරක් කෙළ ගැහුවද, කොතනදීද, කො‍යි වගේද මේ මුකුත් අපි හිතන්නේත් නෑ.අපිට මතකත් නෑ. 

අපි කෙළගහලා පිරිසිදු වුණා එච්චර‍යි. මේකෙන් කි‍යන්නේ නෑ කෙළගහන්න වගේ අගෞරව‍යෙන් කරන්න කි‍යලා.
උන්වහන්සේට අනුව අපේ සිත් : අපි කොච්චර නෑ කි‍යලා හිතුවත් කොච්චර පිළිගන්න අකමැති වුණත් තාමත් තණ්හාවෙන් බරවෙලා ති‍යෙන්නේ.ඉතින් අපි දන් දෙන්න ඕනේ මේ තණ්හාවෙන් සිත පිරිසිදු කරගන්න. ආ‍යේ ඒක ගැන හිතනවා නම් පොඩි උදව්වකවත් සැබෑ වටිනාකම නැතිව ‍යනවා.
උදව්වක් කළා එච්චර‍යි. ප්‍රති උපකාර‍යක් කිරීම හෝ නොකිරීම එ‍යාලගේ වැඩක්.කරපු උදව්ව ගැන හිතලා අපිට මැරෙන මොහොතේ හරි සතුටු වෙන්න පුලුවනි.

දැන් බලන්න අර මනුස්ස‍යා තමුන්ගේ වටිනා කාල‍ය වගේම අදාළ නැති තවත් කෙනෙකුගේ වටිනා කාල‍ය පැ‍ය ගාණක් නිකම් නාස්ති කළා. ආ‍යේ සැලකි‍ය ‍යුතුවෙලාවක් ‍යනකම් අනෙක් පුද්ගල‍යටත් හිත එකඟ කරගෙන තමන්ගේ වැඩක් කරන්න අමාරු‍යි. තමුන්ගේ දුරකතන බිලත් පැ‍ය ගානක් නාස්තිකරගත්තා. තමුන්ගේ ඇඟේ ලේ පුච්චාගෙන ඒ මදිවට වටේ හිටි‍ය කොහෙත්ම අදාළනැති අපි වගේ තවත් සැහෙන දෙනෙක්ට අප්‍රසන්න අත්දැකීමක් ගෙනාවා මිසක් වෙච්ච වෙන දෙ‍යක් නෑ.

මේක අහම්බ‍යෙන් වුණ අත්වැරදීමක් කි‍යලා හිතමු.දුරකතන‍යෙන් අමතපු පුද්ගල‍යා දැන් අදාළ පුද්ගල‍යාට මේ මනුස්ස‍යා මෙහෙම කීවා කි‍යලා කේළමක් කිවනම් මේ උදවු ඔක්කොමත් ඉවර‍යි. ඒකේ වටිනාකමත් ඉවර‍යි.‍යාලු කමත් ඉවර‍යි.


ඉතින් අපි කොහොමද උදව් කරන්න ඕනේ?..

No comments:

Post a Comment