අපි ඉස්කෝලේ යන කාලේ පහ වසරේ පන්තියේදී (ඒ කියන්නේ 1997 අවුරුද්දේ. අදට අවුරුදු 17කට විතර ඉස්සර කතාවක්. ) අපට උගන්වපු ගුරුතුමිය අපෙන් මෙහෙම ඇහුවා.. " ඔයාලගේ අම්මා උදේ නැගිටින්නේ කීයටද? "
ඇත්තටම එහෙම අහනකම් ඒ ගැන අපිට කිසිම අදහසක් තිබුණේ නෑ.
මොකද අපි තව නිදාගන්න කෙදිරි ගානකොට බලෙන්ම අපිව ඇහරවලා ඇදුමුත් ලෑස්තිකරලා
උදේ තේ එකත් හදලා බත් එකත් බෙදලා දවල් කෑම පාර්සලේත් බැඳලා වතුර එකත් දාලා ඔක්කොම ලෑස්තිකරලානේ.
අපි පොඩි කාලෙනේ.. බොරු කියන්නේත් නැති නිසා දන්න විදියට කිවා පහට කලින් ඇහැරිනවා ඇති කියලා
හැබැයි අම්මා තනියම උදේ පාන්දර තුන හමාරට විතර ( ඊට කලින් මිසක් පරක්කු නොවන බව) නැගිටලා මේ ඔක්කොම කරනවා කියලා මම පස්සේ දැනගත්තා.
අපේ ගුරුතුමිය අපේ නොදන්නාකම දන්න හින්දා ඊළඟට මෙහෙම ඇහුවා. " ඔයාලගේ අම්මා කන්නේ කීයටද? "
ඇත්තටම ඒකටත් හරිම උත්තරයක් අපි කාටවත් තිබුණේ නෑ. මොකද අපිව පාසලට පිටත් කරාට පස්සේ ඇය කෑම කනවා වියයුතු උනත් ඇත්තටම ඇය උදේට කනවාද අපේ වැඩවලින් ප්‍රමාදවෙලා රස්සාවට යන හදිස්සිය නිසා නොකාම යනවද කියලවත් අපි දැනගෙන හිටියේ නෑ. හැබැයි දවල්ටනම් අපි ගෙදර ආවට පස්සේ දවාලට කනවා කියලා දැනගෙන හිටියා.
ඒකියන්නේ 2.30 ට විතර. (පාන්දර තුනට ඇහරලා උදේටත් හරියට කෑමක් නැතිව දවල් 2.30ට කන එකේ අමාරුව දැන් තමා අපිට තේරෙන්නේ.)
කොටි කරදර තිබ්බ කාලේනේ. උදේ ගෙදරින් යන අය ආයෙම පණපිටින් එනවද කියලාවත් කාටවත් විශ්වාසයක් නැති යුගයක් තමා ඒකාලේ කියන්නේ.
ඊට පස්සේ අපේ ගුරුතුමිය අපෙන් මෙහෙම ඇහුවා ඔයාලා කැමතිද කවුරුහරි මෙච්චර උදව් කරලත් නිකම්වත් ඒ වෙන මහන්සිය ගැන ගණන් ගන්නේ නැතිනම් උදව් කරපු අපිට හිතෙන විදිය.
ඇත්තම කියනවානම් අම්මා අපිවෙනුවෙන් කොච්චර මහන්සිවෙනවද කියන එක මට තේරුණේ එදා.
අවුරුදු 13ක් පුරාවටම සතියේ දවස් 7න් 7ම( අමතර පන්ති හින්දා සති අන්තයේත්) වහලෙක් වගේ, කිසිම කෙඳිරියක් නැතුව කළ ඒ කැපකිරීම පුදුම සහගතයි. අපේ ගුරුතුමිය කිවා අඩුම තරමේ ඔයාලා ගෙදර ගිහින් "අම්මා කෑම කාලාද ඉන්නේ?" කියලවත් අහන්න කියලා.
ඒක ඇත්තටම ඇයට ලොකු සතුටක් ගෙනදේවි කියලා. ඉතින් පුලුපුලුවන් විදියට පොඩි පොඩි උදව් කළත් අධ්‍යාපන කටයුතු එක්ක ගොඩාක් කාර්‍ය්බහුල වෙලා තිබුණත් එදා ඉඳන් අද වෙනකම් "අම්මා කෑම කාලාද ඉන්නේ?" වත් අහන්න මම අමතක කලේ නෑ.
ඒ වෙලාවට අම්මගේ මුහුණේ ඇඳෙන සිනා රැල්ලේ වචනවලින් කියන්න බැරි අර්ථයක් තියෙනවා
එදා මට මේ දේ ඉගන්නුවේ කුසුම් කොඩිතුවක්කු කියන මගේ ගුරුතුමියයි.ඇයට අනේකවාරයක් ස්තුති වෙන්න මේ විදියට අපිට උගන්වලා ඕනේ අපේ දෙනෙත් පෑදුවාට.