" මොකක්ද මේ ආයෙම පංසලේ උත්සවයක්ද? ගිය මාසෙත් මොකක්ද තිබ්බනේ. මෙහෙම සල්ලි දෙන්නනම් ඉතින් සල්ලි ගහක්වත් හිටවන්න වෙයි "
" ඒකනම් තමා ඒ වුණාට මොකද රුපියල් 500ක් දුන්න අපිට වඩා රුපියල් 200ක් දුන්න එහා ගෙදර මිනිහව තමා හාමුදුරුවෝ ලොකු කරගෙන හිටියේ. "
"ඔය කීවට ඉතින් කොච්චර කල් චීවරේ ඉඳී කියල කවුද දන්නේ.."
"ඔයාට මතකද මංදා 2005 අවුරුද්දේ තාත්තගේ පිංකමටත් හාමුදුරුවෝ වැඩි වෙලා හිටියේ නෑනේ. "
"අනේ ඉතින් අපි ඉන්න කම් හොඳා.."
ගෙදර එකම යුද්දයක්. ඇයි මේ? මේ කතාව මට කියන්න කල්පනාවුණේ දවසක් දළදා මාළිගාවේ තිබ්බ
දානයක් අන්තිමේදී ඒ ලොකු හාමුදුරුවෝ දේශනා කරපු දෙයක් හා සම්බන්ධ දෙයක අත්දැකීමක් ලැබුණු නිසයි.
ඇත්තටම එදා අපේ යහලු ආදි ශිෂ්‍යයෝ කීපදෙනෙක් එකතුවෙලා කරපු දානය හිතුවාට වඩා සාර්ථක වුණා. දානයත් මහ ඉහළින් තිබුණා.
සමහර වෙලාවට මේ දේවල් ගැන් උන්වහන්සේට තියෙන අත්දැකීම් නිසා දානයේ ආනිශංස ගැන ධර්ම දේශනයක් කළා.
මේ ගැන අපිට නිතර අහන්න ලැබෙන හින්දා ඒ ගැන මම කියන්න යන්නේ නැතත් උන්වහන්සේ දේශනා කළ එක් කරුණක් මට තදින්ම දැනුණා.
" මහත්තයෝ දන් දෙනවනම් ඒක පිරිසිදු සිතින් කරන්න. නගර සභාවට මාසෙට වරිපනම් ගෙවනවා වගේ පන්සලටත් මාසෙට ගෙවන්න හිතන්න එපා. එතකොට වෙන්නේ පන්සල් යන්නේ බදු ගෙවන්න වගේ"
ඇත්ත අපි අපේ තත්ත්වේ පුරාජේරුව පෙන්නත් එක්ක මහා ලොකුවට කළත් අද තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක එහෙම ලොකු ගණන් දෙන්න අමාරු වෙයි. පන්සල් වලත් අඩු පාඩු කම් බොහොමයි.
අද කාලේ රුපියල් දාහක් ආධාර දුන්නත් මොනවද හරියට කරන්න පුලුවන්.
අනෙක පන්සලේ මොනවත් හැදුවේ නැතත් ගම්වැසියෝ කියන්න බලන් ඉන්නේ
"මේ හාමුදුරුවෝ අපේ දානේ වළදනවා විතරයි හරියට බුදුගෙයක්වත් හදාගන්න උවමනාවක් නෑනේ." කියන්න.
අඩුපාඩු තියෙන්න පුලුවන් නමුත් දෙන දේ පිරිසිදු සිතින් දෙමු.
වැරදි කාගෙත් තියෙන්න පුලුවන්. නමුත් අපි මහා සංඝරත්නයට පූජාකරන්නේ එදා සැරියුත් මුගලන් හිමිවරුන්ගෙන් පැවත එන ඒ ආර්ය සඟ රුවන සිහිකරගෙනයි. චීවරයට නොගැලපෙන දේ කළොත් ඒ දේවල් ඒ අයට ලැබේවි.
දෙයක් දෙන්න ගිහින් ධර්මයත් සංඝයාවහන්සේත් විවේචනය කරලා නැති පවුත් පුරවා ගන්නවනම් ඒක කණගටුවට කාරණයක්..