Monday, February 20, 2012

මරුකටට දොර හරින දුම්වැටිය


"එවකට වෛද්‍ය ශිෂ්‍ය - ශිෂ්‍යාවන් වූ අපි දිනක්‌ ශල්‍ය වෛද්‍ය වාට්‌ටුවක අධ්‍යයන කටයුතු කරමින් සිටියෙමු. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වූ අපගේ ආචාර්යවරයෙක්‌ වාට්‌ටුවට පැමිණි සැණින් රෝගීන්ගේ වැසිකිළිය දෙසට ගොස්‌ එයට ඇතුළු විය. ඉන්පසු හෙතෙම එහි සිටි රෝගීන් කිහිපදෙනකු හා රෝගීන්ගේ උදව්වට ඔවුන් ළඟ රැඳී සිටි කිහිපදෙනකු අප වෙත කැඳවාගෙන අවුත් ඔවුන්ගේ අත්වල සහ සාක්‌කුවල ඇති දෑ පරීක්‍ෂා කර බලන්නැයි අපට පැවසුවේය. ඔවුන් සියලුදෙනා ළඟම දුම්වැටි, දුම්කොළ හා බුලත් විට තිබිණි.

මෙකී ද්‍රව්‍ය මිනිස්‌ සිරුරට ඉතා අහිතකර බවත් එහෙයින් ඒවා රෝහලේදී පාවිච්චි කිරීම තහනම් බවත් අපගේ ආචාර්යවරයා ඔවුනට දැන්වීය. එහෙත් ඇතැම් රෝගීන් සහ රෝගීන් ළඟ රැඳී සිටින්නන් මෙම ද්‍රව්‍ය රෝහලේදී පාවිච්චි කරන බව පැවසූ ඔහු, ඔවුන් විසින් එසේ කරනු ලබන්නේ වාට්‌ටුවේ වැසිකිළියට ගොස්‌ බව අපට පැහැදිලි කළේය. එහෙයින් තමාගේ වාට්‌ටු සංචාරයේදී රෝගීන් පරීක්‍ෂා කිරීමට පළමුව තමා අනිවාර්යයෙන් රෝගීන්ගේ වැසිකිළිය නිරීක්‍ෂණය කරන බව හෙතෙම කීය. මත්ද්‍රව්‍යවලට අප සැමවිටම සක්‍රියව විරෝධය පළකළ යුතු බව කී ඔහු වැසිකිළිය තුළ දී දුම්පානය කර හසු වූ රෝගියකු පෙන්වා ඔහුගේ රෝගය පිළිබඳව අධ්‍යයනය කරන ලෙස පවසා නික්‌ම ගියේය.


අවුරුදු 45 ක්‌ පමණ වයසැති එම රෝගියා අප වෙත ඇවිද ආවේ කිහිලිකරුවල ආධාරයෙනි. එම රෝගියාගේ එක්‌ පාදයක්‌ නොවූ අතර ඉතිරිව තිබූ පාදයේද ඇඟිලි හතරක්‌ නොවීය. ඉතිරිව තිබූ එකම ඇඟිල්ලක්‌ තද කළු පැහැ ගැන්වී හැකිලී ගොස්‌ තිබිණි. ඔහු රෝහල් ගතව සිටියේ ඒ ඇඟිල්ලට ප්‍රතිකාර ගැනීමටය.


"මගේ රැකියාව වඩු වැඩ. මීට අවුරුදු කීපයකට කලින් මගේ කකුලේ ඇඟිල්ලක්‌ අග ඉඳල කළුවෙන්න පටන් ගත්තා. මට ඉවසා ගන්න බැරි තරම් වේදනාවක්‌ දැනුණා. ඒ ඇඟිල්ල තව තවත් කළුවෙලා වැටෙන තරමට හැකිළී වේලී ගියා. මම රෝහල්ගත වුණා.


මම දුම්වැටි පානය කරනවාදැයි මගේ කකුල පරීක්‍ෂා කර බැලූ වෛද්‍යවරුන් මගෙන් ඇසුවා. මට අවුරුදු 15 ක විතර ඉඳල බීඩි සහ සිගරට්‌ ද පානය කරන බව මම කිව්වා. වෛද්‍යවරුන් මට පැවසුවේ මගේ රෝගයට හේතුව දුම්පානය බැවින් වහාම එය නතර කළ යුතු බවයි. එසේ නැතිනම් මගේ කකුල් දෙකම මෙසේ නරක්‌ වී කපා ඉවත් කිරීමට සිදුවිය හැකි බවට අනතුරු ඇඟ වී යෑයි රෝගියා කීය.


"ඉන්පසු ඔබ දුම්පානය නතර කළා දැ"යි එවිට අපි රෝගියාගෙන් විමසුවෙමු."ඇඟිල්ල ඉවත් කර නිවසට ගොස්‌ ටික දවසක්‌ මම දුම්පානයෙන් වැළකී සිටියා. නමුත් තුවාලය සුව වූ සැණින් මම නැවත දුම්පානය කරන්නට පටන් ගත්තා. මාස කිහිපයකින් තවත් ඇඟිල්ලකුත් එසේ ම වුණා. ඒ වගේ මාස කීපයෙන් කීපයට මගේ ඇඟිලි සහ කකුල නරක්‌ වීම නිසා මම රෝහල්ගත වුණා. අන්තිමේදී එක්‌ කකුලක්‌ කැපුවා. ඒත් මට තවම දුම්පානයෙන් මිදෙන්නට බැරි වුණා යෑයි" රෝගියා පැවසීය.


බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව යට කී රෝගියාගේ රෝගී තත්ත්වය හඳුනා ගනු ලබන්නේ "පර්යන්ත රුධිරවාහිනී රෝගය" Peripheral Vascular Disease - PVD ලෙසය. දුම්පානය නිසා, විශේෂයෙන් මෙරට ගෘහස්‌තව නිෂ්පාදනය කරනු ලබන දුම්වැටි වර්ගයක්‌ නිසා ද මෙම රෝගය හට ගනී. මෙහිදී සිදුවන්නේ මෙකී දුම්වැටි ඉරීමෙන් රුධිරගත වන "තාර" විශේෂයෙන් පාද කරා ගොස්‌ එහි රුධිර නාළවල තැන්පත් වී එතුළින් රුධිරය ගමන් කිරීම අවහිර කිරීමයි. එහෙයින් පාදයේ සහ පා ඇඟිලිවල පටක හා පේශීවලට රුධිරය නොලැබීමෙන් ඒවා මරණයට පත් වෙයි. ප්‍රතිඵලය ලාදුරු රෝගීන්ගේ මෙන් ඇඟිලි අධික වේදනාවක්‌ දෙමින් කළු වී, වියළී අවසන හැළී යාමයි. දිගින් දිගටම මෙය සිදුවූ විට වන්නේ අවසන පා දෙකම කපා ඉවත් කිරීමට සිදුවීමය.

කෙනෙකු ජීවත් ව සිටියදී ම ඔහුගේ ශරීරයේ අවයව ඔහුගේ නෙත් ඉදිරියේ වියළී මරණයට පත් ව හැලීයාම ඔහුට කොතරම් දුකක්‌ විය හැකිද? එය යමකුට දුම්වැටි පානයෙන් ලැබෙන ''නොමැරී මැරීමේ'' දායාදය යි.

දුම්වැටියක දිග සෙන්ටිමීටර් කිහිපයක්‌ වුවද එහි ශරීරයට විෂ රසායනික ද්‍රව්‍ය සිය ගණනක්‌ අඩංගු වේ. නිකොටින්, තාර, කාබන් මොනොක්‌සයිඩ් නමැති මරණය ගෙන දෙන විෂ වායුව, ඇසිටෝන් නමැති නිය සායම් දියකරන ද්‍රවණවල අඩංගු ද්‍රව්‍ය, ඇමෝනියා, ආසනික්‌ හා බෙන්සීන් නමැති කෘමිනාශකවල අඩංගු විෂ ද්‍රව්‍ය, බෙන්සොපයිරීන් නමැති මෙලොව ඇති ඉතා ප්‍රබලම පිළිකා කාරක රසායනික ද්‍රව්‍යය, කැඩ්මියම් නමැති විෂ ලෝහ වර්ගය ‍ෆෙර්මැල්ඩිහයිඩ් නමැති මිනී කල් තබා ගන්නා ද්‍රව්‍ය හා ටර්පන්ටයින් නමැති තීන්ත ද්‍රවකයක්‌ ලෙස යොදා ගන්නා ද්‍රව්‍ය ඉන් කිහිපයකි.

දුම්වැටියක්‌ දල්වා එහි පළමු දුම් උගුර මුඛයෙන් පෙණහළුවලට ඇතුළුවීමත් සමගම එකී සිය ගණනක්‌ වන විෂ ද්‍රව්‍ය විනාඩි කිහිපයක්‌ ඇතුළත ශරීරය පුරා ගොස්‌ ශරීරයේ සියලු ම සෛලවලට ඇතුළු වී එකී සෛල තුළ ක්‍රියාත්මක වේ. එවිට එකී සෛලවලට අවශ්‍ය පෝෂණය නොලැබී ශරීරයේ පටක ද අවයව ද දුර්වල වී රෝග සෑදීම පහසු වේ.

දුම්කොළ යනු මිනිසාට පිළිකා ඇති කරන බවට පැහැදිලිව ම ලොව හඳුනාගෙන ඇති ද්‍රව්‍යයන් කිහිපයෙන් එකකි. දුම්වැටිවලින් ශරීරගත වන විෂ රසායනික ප්‍රමාණයට වඩා බොහෝ වැඩි ප්‍රමාණයක්‌ දුම්කොළ සැපීම නිසා ශරීරගත වේ. දුම්කොළ මගින් පෙණහළුවල මුඛයේ, ගලනාලයේ, සහ උගුරේ සහ මුත්‍රාශයේ පිළිකා ඇති කරයි. එය දුම්කොළ මගින් ලැබෙන "පිළිකා දායාදය"යි.

දුම්පානය ඉතා සෘජුවම හෘදයාබාධවලට ද රුධිර පීඩනය වැඩි කිරීමට ද ශ්වසන රෝග ඇතිවීමට ද ආමාශ තුවාල ඇතිවීමට ද හේතු වෙයි. මේ සියල්ල මගින් යමකුගේ සෞඛ්‍ය සම්පන්න බව නැතිවෙයි පෞද්ගලිකව ද පොදු වශයෙන් ද දුකට පත්වෙයි. එය දුම් පානයෙන් ලැබෙන "රෝග දායාදය"යි.

බටහිර ඖෂධ විද්‍යාවට අනුව දුම්වැටිවල ඇති නිකොටින් හඳුනාගනු ලබන්නේ මිනිසාගේ ස්‌නායු පද්ධතිය "උත්තේජනය" කරන්නක්‌ ලෙස හා "ප්‍රබල ඇබ්බැහිකාරකයක්‌" ලෙසය. නිකොටින් මගින් ස්‌නායු පද්ධතිය උත්තේජනය කරන හෙයින් දුම්පානය කරන්නකුට ඉන් සක්‍රිය බවක්‌, ක්‍රියාශීලී බවක්‌, මානසිකව දැනිය හැකිය. එහෙත් කල් යත්ම නිකොටින්වලට ස්‌නායු පද්ධතිය ඇබ්බැහි වූ විට මනස පත්වන්නේ දැඩි දුකකටය පීඩනයකටය.

යම් පුද්ගලයකු විසින් තම ජීවිතයේ පළමු දුම්වැටිය දල්වා ගනු ලැබ දුම්පානය ආරම්භ කළේ යෑයි සිතමු. එවිට එහි ඇති නිකොටින් රුධිරගත වී ස්‌නායු පද්ධතිය කරා ගොස්‌ එය "උත්තේජනය කිරීමට පටන් ගනියි. එවිට ඔහුගේ මනසට යම් සක්‍රිය බවක්‌, තමා සිටි මට්‌ටමට වඩා ප්‍රබෝධවත් බවක්‌ දැනෙයි. එහෙත් ඔහුගේ රුධිරගත නිකොටින් මට්‌ටම අඩුවීමත් සමග ඒ සක්‍රිය බව, ප්‍රබෝධය අඩුවී තමා මුලින් සිටි මට්‌ටමට ම මනසින් යළි පැමිණෙයි. එය නැවත ලබා ගැනීමට නම් යළිත් දුම්වැටියක්‌ පානය කළ යුතුය."

මින් පැහැදිලි වන්නේ දුම්පානය මගින් යමෙකුගේ මනසේ යම් ප්‍රබෝධයක්‌ ඇතිවන නමුත් දුම්පානය නොකරන විට ඔහුගේ රුධිරයේ නිකොටින් නොමැති බැවින් මනස සාමාන්‍ය මට්‌ටමේම පවතින බවය. එහෙත් මෙය සිදුවන්නේ යමකු දුම්පානයට "ඇබ්බැහි වන" අවස්‌ථාව, මොහොත එළැඹෙන තෙක්‌ පමණි.

යමකු දුම්පානයට ඇබ්බැහිවීමේ අවස්‌ථාව, මොහොත එළැඹි විට ද සුපුරුදු ලෙස නිකොටින් ශරීරගත වීමත් සමගම ඔහුගේ මනස ප්‍රබෝධවත් වී ඉහළ යයි. දුම්පානය නතර කිරීමත් සමග නිකොටින් ප්‍රමාණය අඩු වෙයි. එවිට මනසේ ප්‍රබෝධය පහළට ඒම ඇරඹෙයි. එහෙත් මේ අවස්‌ථාවේදී, මොහොතේදී පෙර නොවූ දෙයක්‌ සිදු වෙයි. එනම් පහලට එන ඔහුගේ මානසික ප්‍රබෝධය, පෙර පරිදි සාමාන්‍ය මට්‌ටමේ නොනැවතී ඊට වඩා පහළට ගමන් කරයි. මෙය ඉතා ඛේදනීය දෙයක්‌ වන්නේ ඉන්පසු ඔහුගේ මානසික මට්‌ටම පවතින්නේ තමන් දුම්පානයට ඇබ්බැහි වීමට පෙර පැවැති සාමාන්‍ය මානසික මට්‌ටමට වඩා පහළ මානසික මට්‌ටමක වීම නිසා ය. එය යළි සාමාන්‍ය මානසික මට්‌ටමකට නොඑයි. ඒ නිසා ඔහුගේ මනසට දැනෙන්නේ දැඩි කණස්‌සළු බවකි. එවිට ඔහු දුම්වැටියක්‌ දල්වා ගතහොත් සිදුවන්නේ කුමක්‌ද? ඉන් යළිත් නිකොටින් ශරීරගත වීමත් සමගම ඔහුගේ මානසික ප්‍රබෝධය ඇතිවී මානසික මට්‌ටම ඉහළ යාමයි. එහෙත් එය ඉහළ යන්නේ, ඔහු දුම්වැටි පානය නොකළ කාලයේ තිබූ සාමාන්‍ය මානසික මට්‌ටම තෙක්‌ පමණි. නිකොටින් මගින් එම මට්‌ටම යළි කිසිදු විටක ඊට වඩා ප්‍රබෝධවත් මට්‌ටමකට නොයයි. එහෙත් ෙ€දනීය කරුණ නම් මෙවර දුම්වැටිය අවසන් වූ වහාම මනස යළිත් සාමාන්‍ය මානසික මට්‌ටමින් පහළට ඒමයි. පැමිණ ඒ මට්‌ටමේ ම පැවතීමයි. මින් පැහැදිලි වන්නේ කුමක්‌ද?

දුම්පානයට ඇබ්බැහිවූ යමෙකු දුම්පානය නොකරන සෑමවිටම ඔහුගේ මානසික මට්‌ටම පවතින්නේ සාමාන්‍ය මිනිසුන්ගේ මානසික මට්‌ටමට වඩා පහළිනි දුකකිනි කණස්‌සල්ලකිනි පීඩාවකිනි නොසන්සුන්තාවකිනි තනිකමකිනි අතෘප්තිමත් බවකිනි( හීනමානයකිනි. එහෙයින් ඒවායින් මිදීමට ඔහු කරන්නේ කුමක්‌ද? තවත් දුම්වැටියක්‌ දල්වා ගැනීමයි. එහෙත් යළි යළිත් සිදුවන්නේ එයමයි. දුම්වැටියේ ඇති නිකොටින් ලොව ප්‍රබලම "ඇබ්බැහිකරණය" ලෙස හැඳින්වෙන්නේ එහෙයිනි.

මෙහි ඇති භයානක කරුණ නම් නිකොටින්වලට යමෙකු ඇබ්බැහි වීම සඳහා පානය කළ යුතු දුම්වැටි ගණන හෝ වාර ගණන හෝ කාලය හෝ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ වීමයි. යමකු දුම්වැටි දහසක්‌ බිව්වත් ඇබ්බැහි නොවිය හැකි නමුත් තවත් අයකු දුම්වැටි එකක්‌ හෝ කිහිපයක්‌ පානය කරන විට ඇබ්බැහි විය හැකිය. යමකු වසර ගණනක්‌ දුම්පානය කළ ද ඊට ඇබ්බැහි නොවිය හැකි නමුත් අයකු එක්‌ දිනකින් - දින කිහිපයකින් දුම්වැටිවලට ඇබ්බැහි විය හැකිය. එහෙයින් දුම්පානය කරන කිසිවකුට හෝ තමා මෙහි සිටින්නේ කොතැනදැයි කිසිවකුට කිව නොහැකිය. එය දුම්පානය කරන්නකුට ලැබෙන "ඇබ්බැහිවීමේ දායාදය යි".


 " වරෙක මා වෙත රෝගියෙක්‌ පැමිණියේය. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව කතාබහ කරමින් "ඔබ දුම්පානය කරන්නේදැ"යි විමසුවෙමි. මා බලාපොරොත්තු වූ පිළිතුර වූයේ "ඔව්" හෝ "නැත" යන පිළිතුරු දෙකෙන් එකකි.

"ඔව්. ඒත් මම මගේ බිරිඳ, දරුවන් හා මව්පියන් ඉදිරියේ මගේ ගෙදර දී නම් දුම්පානය කරන්නේ නැතැයි" ඔහු පිළිතුරු දුන්නේය. එකී පිළිතුරෙන් හෙතෙම මගෙන් බලාපොරොත්තු වූයේ ඔහුගේ හිතෛෂීන් ඉදිරියේ දුම්නොබීම පිළිබඳ වන ඔහුගේ ක්‍රියා පිළිවෙතට මගේ ප්‍රශංසාව බව මට හැඟී ගියේය.


"ඔබ ඉන් පවසන්නේ ඔබේ නිවසේදී නොකර, ඔබ දුම්පානය කරන්නේ මා ඉදිරියේ, වෙනත් දූ දරු මව්පියවරුන් ඉදිරියේ බව නේදැයි මම ඔහුගෙන් ඇසුවෙමි. ඒ ප්‍රශ්නය ඇසීමත් සමග මා දෙස මඳ වේලාවක්‌ බලා සිටි රෝගියා මෙසේ පැවසීය. " මට සමාවෙන්න මා කරන දේත් මා කිව් කතාවත් වැරැදියි කියා මම පිළිගන්නවා."


එම පුද්ගලයාගේ දුම්පානය ඔහුට හොඳ නැත. ඔහුගේ හිතෛෂීන්ට මෙන්ම සෙසු ලෝකයටද එය හොඳ නැත. එසේ හෙයින් ඔහු සාධාරණය කළ යුත්තේ එකී පාර්ශ්ව තුනටම ය. එසේ කිරීමට නම් ඔහු කළ යුත්තේ දුම්පානය නතර කිරීමයි.

දුම්වැටි සහ දුම්කොළ නිෂ්පාදන නිසා අප රටට දිනකට සිදුවන ආර්ථික පාඩුව රුපියල් ලක්‍ෂ 1500 කි. එනම් වාර්ෂිකව රුපියල් ලක්‍ෂ 5,50,000 කට ආසන්න මුදලකි. දුම්පානය සහ දුම්කොළ නිසා හට ගන්නා රෝග නිසා අප රටේ වර්ෂයකට මිනිස්‌සු 25,000 ක්‌ මිය යති. වර්ෂයකට මිනිස්‌සු 20,000 ක්‌ දුම්පානය සඳහා අලුතෙන් එකතු වෙති.

වර්ෂයකට අප රටේ දුම්වැටි ලක්‍ෂ 14,000 ක්‌ දැවෙයි. එනම් දිනකට අප රටේ දුම්වැටි ලක්‍ෂ 40 ක්‌ දැවෙයි. ඒ සෑම දිනකම එලෙස දුම්බොන අප රටේ සියලු මිනිසුන්ගේ මුදල් ද, රටේ මුදල් ද මිනිසුන්ගේ පෙණහළු ද ඉන් පිට කරන දුමෙන් අප රටම ද දැවෙයි. අප රට ද විනාශ වෙයි. එය දුම්පානය වෙතින් ලැබෙන "උපන් බිම විනාශ කිරීමේ දායාදය"යි.

මෑතක සිට අප සමාජයේ කාන්තාවන් ද මත්ද්‍රව්‍ය කෙරෙහි, විශේෂයෙන් කාන්තාවන් වෙනුවෙන්ම නිෂ්පාදනය කරනු ලබන්නේ යෑයි කියනු ලබන දුම්වැටි වර්ග හඳුන්වා කාන්තාවන් ද දුම්පානයට පොළඹවා ගැනීමේ විවිධ උපක්‍රම දක්‌නට ලැබේ. එකී දුම්වැටිවල ද වෙනත් කිසිදු විශේෂත්වයක්‌ නැත. එහි සැඟවී ඇත්තේද පෙර කී පිළිකා මාරයාමය ලෙඩ රෝගය දුකමය.

පිරිමින් විසින් පානය කොට පිට කරන දුම කාන්තාවන්ට ද දරුවන්ට ද කුස තුළ වැඩෙන දරුවන්ට ද පෙවෙයි. ඔවුනට පෙර කී ව්‍යසන සියල්ලම සිදුවෙයි. එය ඔවුන්ට කරන බලවත් අසාධාරණයකි. එහෙත් ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති කාන්තා සංවිධානවලින් ඒ පිළිබඳව කිසිදු සක්‍රිය විරෝධයක්‌ එල්ල වනු නොපෙනෙයි. එයට හේතුව එකී සංවිධානවල ඉහළින් වැජඹෙන, තනතුරු දරන බහුතරයක්‌ කාන්තාවන් බොහෝවිට දුම්වැටිවලට ඇබ්බැහිවී ඇති බැවිනි. මන්ද ඔවුන්ට "කාන්තා සංවිධාන" නාමයෙන් අවශ්‍ය වන්නේ කාන්තාවන් කෙරෙහි වන යම් පුරුෂ හිංසනයකට එරෙහි වීම නොව පුරුෂයන් කරන, ඇබ්බැහි වී ඇති, නතු වී ඇති දුම්පානය තමන් ද කර ඉන් තමන් පුරුෂයන්ට සම යෑයි පෙන්වා ගැනීමේ "විකාරරූපී මානසිකත්වය" බැවිනි.

දුම්බීමට කවර කාලයක්‌ නතු වී සිටියද යමෙකුට එකී නොමනා පුරුද්ද නතර කිරීමට අවශ්‍ය නම් එය නතර කළ හැකිය. ඉන් මිදීමේ සැබෑ අවශ්‍යතාව වේ නම් ඒ සඳහා මිනිස්‌ මනසට අවශ්‍ය ශක්‌තිය ඇත. යමෙකු කිසියම් මොහොතක "මා කරන්නේ වැරදි ක්‍රියාවකි. මෙය මටත් සමාජයටත් අයහපතකි. එහෙයින් මම ඉන් මිදීම සඳහා ක්‍රියා කරමි" යි කියා ඒ සඳහා උත්සාහ කරන්නේ නම් ඔහුට ඉන් මිදීම සඳහා එක්‌ දොරටුවක්‌ නොව දොරටු බොහෝ ගණනක්‌ විවර වනු ඇත.

තමන් වහන්සේ හමුවට පැමිණෙන සියල්ලන් සමග ඉතා ප්‍රසන්න මුහුණෙන් කාරුණික ව පිළිසඳරෙහි යෙදෙන වයෝවෘද්ධ ආරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේ නමක්‌ වසර කීපයක්‌ ඇසුරු කිරීමේ අවස්‌ථාව මට හිමි විය. අප සමාජයේ "දුම්පානය හා මද්‍යසාර භාවිතය" පිළිබඳව උන්වහන්සේ මහත් උනන්දුවෙන් එවකට වෛද්‍ය ශිෂ්‍යයකු ව සිටි මා හා කතා බහ කළහ. ඒ පිළිබඳව උන්වහන්සේ සතුව පෞද්ගලික අත්දැකීම් ඇති බව මට පෙනී ගියෙන් මම ඒ ගැන උන්වහන්සේගෙන් විමසුවෙමි.

"මම ගිහියකු ව සිටියදී නොකඩවා දශක කිහිපයක්‌ හැම දවසකම, බොහෝ විට දවසේ වැඩි කාලයක්‌ මගේ පයිප්පය උරමින් දුම් බිව්වා. ලෝකයේ ඉස්‌තරම්ම කියන මද්‍යසාර වර්ග දිනපතා පානය කළා. මට මගේම ව්‍යාපාරික ආයතන කිහිපයකුත්, සුවිසල් නිවාස හා ගොඩනැඟිලිත්, යාන වාහනත්, වතුපිටි දේපළත් තිබුණා. මගේ ගිහි කාලයේ දරු දෙදෙනා යුරෝපයේ ඉගෙන ඒ රටවල් දෙකක රැකියාවල් කරමින් සිටියා. ඒ නිසා මම ගෙව්වේ මේ සමාජය කියන පරිදි අති සුඛෝපභෝගී ජීවිතයක්‌."


"එවන් ජීවිතයක්‌ ගතකළ ඔබ වහන්සේ අද ගත කරන මේ ආරණ්‍ය භික්‍ෂු ජීවිතයට පැමිණියේ කෙසේදැයි" මම විමසුවෙමි.


"මම අවුරුදු 60 දී මගේ වෘත්තීය ජීවිතයේ වගකීම්වලින් නිදහස්‌ වුණා. ඒ දවසේ මගේ නෑදෑ හිතමිතුරන් සහ සියලුම සේවක සේවිකාවන්ට මම භෝජන සංග්‍රහයක්‌ දුන්නා. එදත් මම ඔවුන්ට මද්‍යසාර සහ දුම්වැටිවලින් සංග්‍රහ කළා. එදා මට බොහෝ වටිනා තෑගි බොහෝ ගණනක්‌ ලැබුණා. ඒ අතර බුදුදහම පිළිබඳව ලියෑවුණ පොතක්‌ මගේ කලණ මිතුරකුගෙන් ලැබී තිබුණා. පසුදින මට දුරකථනයෙන් කතා කළ ඒ මිතුරා මෙසේ පැවසුවා. "ඔබේ ජීවිතයේ අවසන් කාලයත් ඔබ ගෙවන්නට සූදානම් වන්නේ හිත් - පිත් නැති දුම්වැටියට -මද්‍යසාර වීදුරුවට යට වී, ඔබ මෙතෙක්‌ ජීවත් වූ පරිදිම හිස්‌ මිනිසකු වශයෙන් ද?


මමත් මුළු ලෝකයත් මා පිරුණ ධනවත් සහ විශේෂ පුද්ගලයෙකැයි සිතද්දී, කියද්දී මගේ කලණ මිතුරා මට පැවසුවේ මා හිස්‌ මිනිසකු බවයි. මම ඒ ගැන බොහෝ හිතුවා. මට එය තේරුම් ගැනීමට නොහැකිවූ නිසා මගේ මිතුරාගෙන් ඒ ගැන විමසුවා.


"ඔබට මා දුන් පොත කියවන්න. ඔබ පිරුණ මිනිසෙක්‌ ද හිස්‌ මිනිසෙක්‌ද යන්න ඔබට වැටහේවි" ඔහු පැවසුවා. ඒ පොත බුදු දහමේ මූලික ඉeගන්වීම්, බෞද්ධකම හා ජීවිතය පිළිබඳ ව ලියෑවුණ සරල පොතක්‌. මම ඒ පොත කීපවරක්‌ම කියෙව්වා. සැබැවින්ම මම හිස්‌ මිනිසෙක්‌ බව මට වැටහුණා. විශේෂයෙන් මද්‍යසාර සහ දුම්වැටි නිසා මගේ මනස හා කය පවා මට අහිමි වී ඇති මම හිස්‌ මිනිසකු නොවේදැයි ජීවිතයේ මුල්වරට මට හැඟුණා.


මම මගේ පයිප්පය විසි කළා. එදා අවුරුදු තිස්‌ ගණනක්‌ මා සමග සිටි පයිප්පයට සමුදුන් මම මගේ ගිහි කාලයේ බිරිඳට සහ දරු දෙදෙනාට සමුදී පැවිදිවීම සඳහා ආරණ්‍යයට ආවා. මට අද මගේ ජීවිතයේ කිසිදිනක නොලද සතුටක්‌ තියෙනවා. දුම්වැටි හා මද්‍යසාර විසින් පැහැරගෙන, නතුකර ගෙන, යටකර ගෙන සහ පරාජය කරගෙන සිටි මගේ ජීවිතය යළිත් මම හිමිකර ගැනීම ඒ සතුටට විශාල හේතුවක්‌" එහිමියෝ කීහ.


සැබැවින්ම එය උදානයකි. තම ජීවිතයේ වැඩිම කාලක්‌ මද්‍යසාර සහ දුම්පානය කොට ඉන් මිදීම නිසා තම ජීවිතයේ තවත් උත්තරීතර වෙනසකට ලක්‌ව එහෙයින්ම වර්තමාන ජීවිතය පිළිබඳව සතුට ප්‍රකාශ කර කියූ එය නූතන යුගයේ උදානයකි.

යම්කිසි පුද්ගලයකු දුම්පානය නොකරන්නේ නම් ඔහුගේ ජීවිතය තුළ හෙතෙම සුවිශාල ජයග්‍රහණයක්‌ ලබා ඇත. එහෙත් හිතමිතුරන් යෑයි කියා ගන්නා හෝ වෙනත් කවර පුද්ගලයකු හෝ දුම්පානය කෙරෙහි තමා යොමු කිරීමට උත්සාහ කරන්නේ නම් ඒ සඳහා තමා උනන්දු නොවිය යුතුය පැකිළිය යුතුය. එමෙන්ම යමකු මේ වනවිටත් දුම්පානය කරන්නේ ද එයට ඇබ්බැහි වී සිටින්නේද හෙතෙම තම නුවණින් එය දැක වහ වහා ඉන් මිදීම සඳහා ක්‍රියා කළ යුතුය. ඒ සඳහා ඔහුට සියලු ශක්‌තිය හා හැකියාව ඇත. අවශ්‍ය වන්නේ ඉන් මිදීම සඳහා අවශ්‍යතාව ඇති කර ගැනීම පමණි. එවිට එය කළ හැක. අවසන් ප්‍රතිඵලය වන්නේ තම ජීවිතයේ සතුටයි සැපයයි.

සම්භූත මහ රහතන් වහන්සේ රහත් භාවයට පත් වූ කල උන්වහන්සේ ප්‍රකාශ කළ උදානයෙන් පැවසෙන්නේ එයයි.

"යෝ දන්ධකාලෙ දන්ධොති

තරණීයේච තාරයේ


යෝනිසෝ සංවිධානේන


සුඛං පප්පෝති පණ්‌ඩිතෝ"


යමෙක්‌ පැකිලිය යුතු කල්හී පැකිළෙයි ද ඉක්‌මන් විය යුතු කල්හී ඉක්‌මන් වෙයිද මෙසේ සිහිනුවණින් යුතුව කටයුතු සංවිධානය කිරීම නිසා ඒ ප්‍රඥවන්තයා සැපයට පැමිණෙයි.

මහනුවර මහරෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී  වෛද්‍ය ලලිත් විඡේසිංහ විසින් " දිව‍යින" පුවත්පතට සැප‍යූ ලිපි‍යක් ඇසුරෙනි.


Tuesday, February 7, 2012

බුදුදහම උදෙසා දිවි පිදූ සඟරුවන

අවිහිංසාවදී දර්ශන‍ය පදනම් කරගත්තත් බුදුදහමේ නිර්මල පැවැත්මට එදා මෙදාතුර එල්ල වූ හිංසා පීඩා අප්‍රමාණ‍යි.. අද මේ විදි‍යට හරි ලෝක‍යේ
බුදුදහම සුරැකිව ති‍යෙන්නේ ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග‍යෙන් කැපවූ මේ වගේ හිමිවරුන් නිසා බව අපි අමතක කරන්න හොඳ නෑ. අපේ රටේ නොවුනත් උන්වහන්සේ කළ මේ කැපවීමට මේ උතුම් පෝ‍ය දවසේවත් පින් අනුමෝදන් කරමු..






ඉගෙනගන්න විභාග ජ‍ය ගන්න මෙන්න මඟක්..

අපි ඉස්කෝලේ ‍යන කාලේ " තරණ‍ය" කි‍යලා හුඟක් වටිනා අධ්‍යාපනික වැඩසටහනකට සහභාගිවෙන්න ලැබුණා.
අවුරුදු කීප‍යකට කලින් ගොඩක් ප්‍රසිද්ධවුණු මේ වැඩසටහන තාමත් ති‍යෙනවද කි‍යල මම දන්නේ නෑ.
එදා අපිට ලැබුණු පුංචි පොතේ ගොඩක් වටිනා ප්‍රා‍යෝගික උපදෙස් තිබුණා. අන්තර්ජාල‍යේ හො‍යලා බලනකොටත් නොතිබ්බ හින්දා මම මෙහෙම පළකරන්න හිතුවා.
කාටත් ‍යහපතක් වෙ‍යි කි‍යන පරම පවිත්‍ර චේතනාවෙන්ම කරන දෙ‍යක් මිසක් දේශකතුමාගේ බුද්ධිම‍ය දේපල සොරාගැනීමක් මෙ‍යින් අදහස් කරන්නේ නැති බව කරුණාවෙන් සලකන්න.


















මෙතනින් පොත බාගත කරගන්න.
https://docs.google.com/file/d/0B2JQQj33MrNAVjIwZFZneUR6OEk/edit?usp=sharing