Showing posts with label ජීවිත‍යට. Show all posts
Showing posts with label ජීවිත‍යට. Show all posts

Saturday, November 26, 2022

෴ධීවරයා සහ ව්‍යාපාරිකයා෴

දවසක්දා ධනවත් ව්‍යාපාරිකයෙක් ඉතා දිලිදු ධීවර ගම්මානයකට සංචාරයකට ගියා. මෙයා වෙරළේ ඇවිද ඇවිද ඉන්නකොට දැක්කා කුඩා ඔරුවක මුහුදු ගිය ධීවරයෙක් වෙරළට එනවා. ධණවත් ව්‍යාපාරිකයා ඔරුව ළගට ගිහින් බලනකොට දැක්කා විශාල මසුන් 5ක් 6ක් ඔරුව ඇතුලේ ඉන්නවා.
ධීවරයා ලගට ගිය ධනවත් ව්‍යාපාරිකයා ධීවරයත් එක්ක කතා කරන්න පටන් ගත්තා.

"හොද මාලු අස්වැන්නක්...ඔබට මේ මාලු ටික අල්ලන්න කොච්චර වෙලා ගියාද" ධනවත් ව්‍යාපාරිකයා ඇහුවා.

"පොඩි වෙලාවයි" අහිංසක හිනාවක් සමගින් ධීවරයා පිලිතුරු දුන්නා "පැය දෙකක් විතර"

"ඉතින් ඇයි ඔබ තව වෙලා මසුන් මරන්නේ නැත්තේ ? පැය හයක් විතර මසුන් මැරුවොත් මේ වගේ තුන් ගුණයක් මාලු ඔබට ගේන්න පුලුවනිනේ" ධණවත් ව්‍යාපාරිකයා ඇහුවා.

"මගේ පවුලට අවශ්‍ය දේවල් මිලදී ගන්න මේ මාලු ටික හොදටම ඇති මහත්මයා" ධීවරයා උත්තර දුන්නා.

"නමුත් ඔබ ඉතුරු වෙලාවේදී මොකද කරන්නේ" ධනවත් ව්‍යාපාරිකයා ඇහුවා.

"මම දවල් වෙනකන් නිදා ගන්නවා,මගේ දුවයි පුතයි එක්ක සෙල්ලම් කරනවා,මගේ හාමිනේට ගෙදර වැඩ කරගන්න උදව් කරනවා,හවස් වරුවේ ගම්මානේ පැත්තේ ගිහිල්ලා යාලුවොත් එක්ක පොඩි අඩියක් ගහලා සින්දුවක් කියලා රෑ කෑමට ගෙදර එනවා මහත්මයා" ධීවරයා උත්තර දුන්නා.

ධනවත් ව්‍යාපාරිකයා සමච්චලේට හිනා වෙලා මෙහෙම කිව්වා
"මට හාවඩ් විශ්ව විද්‍යාලේ ව්‍යාපාර කළමණාකරනය පිලිබද උපාධියක් තියනවා,මට පුලුවන් ඔබට දියුණු වෙන්න උදව් කරන්න.ඔබ හෙට ඉදලා මීට වඩා වැඩි වෙලාවක් මසුන් මරන්න පුරුදු වෙන්න,එතකොට මීට වඩා ලොකු මුදලක් හොයා ගන්න පුලුවන්,ඒ මුදල් ඉතුරු කරලා මීට වඩා ලොකු ඔරුවක් ගන්න,ඒ ලොකු ඔරුවෙන් ගොඩක් වෙලා මසුන් මරලා ඒ මුදලින් ඔබට ඔරු කීපයක් මිලදී ගන්න පුලුවන්,අවසානයේදී ඔබට ඔරු රාශියක හිමි කාරයා වෙන්න පුලුවන් වෙනවා. ඔබේ මාලු අස්වැන්න මාලු මුදලාලිට විකුණන්නේ නැතිව කෙලින්ම මිනිස්සුන්ට විකුණන්න පුරුදු වෙන්න,එතකොට ඔබට මීට වඩා වැඩි ලාභයක් ගන්න පුලුවන්,අවසානයේදී ඔබට පුලුවන් ඔබේම ටින් මාලු කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න,ඔබට පුලුවන් නිවසේ ඉදලා ඔබේ කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු පාලනය කරන්න.ඔබට මේ කුඩා ධීවර ගම්මානය අත් හැරලා නගරයෙන් විශාල නිවසක් මිලදී ගන්න පුලුවනි,අවසානයේදී ඔබේ ව්‍යාපාරය ලෝකය පුරාම ව්‍යාප්ත කරලා මම වගේ ලොකු ධනවතෙක් වෙන්න පුලුවනි"

ගොඩක් අවධානයෙන් අහගෙන හිටපු ධීවරයා ධනවත් ව්‍යාපාරිකයාගෙන් මෙහෙම ඇහුවා "ඉතින් මහත්මයා ඔය ඔක්කොම කරන්න කොච්චර කාළයක් ගත වෙයිද?"

"අවුරුදු 15ක් 20ක් විතර" ධනවත් ව්‍යාපාරිකයා උත්තර දුන්නා.

"ඒත් ඊටත් පස්සේ මොකද කරන්නේ මහත්මයා?" ධීවරයා ආයෙත් ඇහුවා.

"ඊට පස්සේ තමා හොදම ටික තියෙන්නේ,නිවැරදි කාලය ආපු ගමන් ඔබට පුලුවන් ඔබේ ව්‍යාපාරයේ කොටස් මහජනතාවට නිකුත් කරන්න,ඒ කොටස් කොටස් වෙළදපොලේ විකිණීමෙන් ඔබට කෝටිපතියෙක් වෙන්න පුලුවන්" ධනවත් ව්‍යාපාරිකයා හිනා වෙලා කිව්වා.

"මහත්මයා ඊටත් පස්සේ මොකද කරන්නේ?" ධීවරයා ආයෙත් ඇහුවා.

"ඊට පස්සේ ඔබට පුලුවන් ඔබේ ව්‍යාපාරික කටයුතු වලින් ඈත් වෙන්න ඈත් වෙලා මේ ලස්සන කුඩා ධීවර ගම්මානය ලගින් ලස්සන කුඩා නිවසක් මිලදී ගන්න පුලුවනි,ඊට පස්සේ ඔබට පුලුවනි දවල් වෙනකන් නිදා ගන්න,ඔබේ දරු මුණුපුරන් සමග සෙල්ලම් කරන්න,ඔබේ බිරිදට ගෙදර වැඩ වලට සහාය වෙන්න, හවස් වෙලා ගම්මානේ පැත්තේ ගිහින් පරණ යාලුවන් එක්ක පොඩි අඩියක් ගහලා,සින් දුවක් කියලා විනෝද වෙලා රෑ කෑමට ගෙදර එන්න"ව්‍යාපාරිකයා හැගීම්බරව කිව්වා.

"ඉතින් මහත්තයෝ මම දැන් කරන්නෙත් ඔය ටිකමනේ" ධීවරයා පුදුමෙන් ඇහුවා.

*************************************************************************************
ඔබට ජීවිතයේ සතුට සදහා අවශ්‍ය දේ පලමුව හදුනාගන්න. ඒ අවශ්‍ය දේ මේ වන විටත් ඔබ නොදැනීම ඔබ අසල තිබෙනවා විය හැක.
සතුටින් ජීවත් වීම සදහා මුදල් අත්‍යවශ්‍ය සාධකයක් නොවේ.නමුත් බොහෝ මිනිසුන් හෙට සතුටින් ජීවත් වීමට මුදල් සෙවීම සදහා අද දවසේ ඔවුන්ගේ සතුටත් ඔවුන් ගේ පවුල වෙත ඉටු විය යුතු යුතුකමුත් පැහැර හරිමින් සිටී.

මූලාශ්‍රය: මට ලැබුණු විද්‍යුත් ලිපියකිනි.

Wednesday, November 23, 2022

පරණ ෆයිල් කල් තියාගන්න ක්‍රමයක්

 අපි ලියකියවිලි ප්‍රශ්න පත්තර ආදී ගොඩක් දේවල් පිළිවෙලකට තියාගන්න ෆයිල් කවර පාවිච්චි කරනවනේ. කාඩ්බෝඩ් ෆයිල්නම් ටික කාලයකින්ම ඉරිලා සවුත්තු වෙනවා. කීවට විශ්වාස කරන්න මේ ෆයිල් මම උසස්පෙළ මුල් කාලේ පාවිච්චි කරපු ෆයිල් තාමත් පාවිච්චි කරනවා. දැන් අවුරුදු 20 කටත් ළඟයි. තාමත් හොඳට තියෙනවා. මේක ඇත්තටම පිටරට සඟරාවක තිබුණු දෙයක්. කරන්නේ මෙහෙමයි. ඕනෙ කරන්නේ 

මම 2003 හදපු තාමත් පාවිච්චිකරන ෆයිල්


 

  • පරණ සඟරා කීපයක්, 
  • ගම්, 
  • සෙලෝටේප් (මහත එක වඩාත් ලේසියී, 
  • කතුරක් විතරයි.


සඟරාවෙන් කැමති විදියට පිටු ටිකක් ඉරලා ගන්න. වර්ණවත් රූපවලට තමා මම කැමති. කලු සුදු වුනත් උත්සාහකරන්න. ඒවා කාඩ්බෝඩ් ෆයිල් කවරේ දෙපැත්තෙම අලවාගන්න. හොදට වේලුනාට පස්සේ සෙලොටේප් එකක් මුලු ෆයිල් එකටම අලවා ගන්න. 

පිලිවෙලට පටි විදියට පින්තූර සහිත කවරය සම්පූර්ණයෙන්ම වැහෙන විදියට අලවන්න. ඇතුලු පැත්ත සෙලොටෙප් කරන එක අත්‍යාවශ්‍යම නෑ. එලියට තියෙන පැති දෙක නිතර කිළුටු වෙනනිසා ඒ දෙපැත්ත අවශ්‍යමයි. එච්චරයි. ඔනි කරන මාතෘකවක් වෙනම කොළයක් ලියලා එලියෙන් අලවන්න පුලුවන්. සෙලෝටේප් තියෙන හින්දා අදාල කාලයෙන් පස්සේ ( විභාග ප්‍රශ්න පත්තර වගේ) ඒ කොළය ගලවලා අලුත් දේකට වුණත් පාවිච්චි කරන්න පුලුවන්.

Tuesday, November 22, 2022

මෙන්න නියම පුස්තකාල


 අහම්බෙන් නෙත ගැටුන දසුනක්. අපි ඕනෙ තරම් පුස්තකාල දැකලා තියෙනවනේ පොත් පුරවලා ඉබියතුරු දාල වහලා තියෙන. ඉතින් එවගෙන් කෙනෙක් ප්‍රයෝජනයක් ගන්නේ බොහොම කලාතුරකින්. පාසලක, පන්ති කාමරයක, වාට්ටුවක, කාර්යාලයක මහජන අංශවල මිනිස්සුන්ට කියවන්න තියෙන පොත් මෙහෙම ගන්න බැරි අවස්තා ඕනෙ තරම්. එක හේතුවක් තමා මේවගෙන් අරන් යන අය ආපහු ගෙනත් දෙන්නේ නැති එක. ඒත් එහෙමයි කියලා පොත් ගොඩ ගහලා වහලා දාන එකෙන් වෙන්නෙ ප්‍රයොඅජනවත් ඉඩක් නාස්ති වෙන එක විතරයි. මේ දර්ශනය මම දැක්කෙ මහරගම පිළිකා රෝහලේ සායනයක් ඉස්සරහ. නිෂ්ප්‍රයෝජන විදියට රූපවාහිනිය හෝ ජංගම දුරකතනයෙ සමාජ මාධ්‍යවල කාලය නාස්ති කරනවට වඩා මෙහෙමහරි කෙනෙක් පොතක් කියවනවනම් ලොකු දෙයක්.

Thursday, November 16, 2017

රසට කන්න භාවනා කරන්න

භාවනාව කියන්නේ ටිකක් විතර අත්හැරීමට සම්බන්ධ දෙයක් වගේනේ අපේ ඔලුවට එන්නේ..
එතකොට කොහොමද භාවනා කරොත් රසට කන්න පුලුවන් වෙන්නේ ?
 හොඳ ප්‍රශ්නයක් තමා..
මේ ගැන හොඳ විග්‍රහයක් කළා නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ උපදේශක උපුල් ගුරුතුමා..
අද උදේට කෑව දේ ඔබට මතක කරන්න පුලුවන්ද? ඔක්කොම ව්‍යාංජන ටිකත් එක්ක..
හොඳයි. එහෙනම් ඊයේ.. ? කලින් දවසේ යාලුවොත් එක්ක ආපනශාලාවකට කන්න ගිය ඒවා..  
ලැයිස්තුව මතක් කළත් රස කොයි වගේද මතකද? හරියටම අවංකව ඔබෙන්ම ඇහුවොත් තෙරේවි එහෙම හරියට මතක නැති බව.
දහස් ගාණක වියදම් කරලා අන්තර්ජාලයේ ඡායාරූපත් දාලා ඒත් කරන්න ගිය මූලිකම දේවත් හරියට රස විඳලා නෑ නේද?
වෙන්නේ එක්කෝ යාලුවෝ එක්ක නොයෙකුත් කතාවල ඉන්න ගමන් කන්න ඇති.. එක්කෝ ටෙලිනාට්‍ය දිහා බලාගෙන ඉඳලා කන්න ඇති..
 කෑම නම් කාල ඉවරයි. ඒත් ඔබේ " සිහිය" Mindfulness තිබුණේ වෙන තැනක.

භාවනාව ඔබව නිවැරදිව සිහියේ පිහිටුවනවා.
කෑම ගන්න වෙලාවක ඇත්තටම රසට කන්න වුනත් ඉතාම කෙටි වෙලාවක් සිහිය තිබුණත් ඇති.
ගොඩක් වෙලා සිහිය තියෙනවනම් වඩාත් හොඳයි.

මෙහෙම හිතන්න. කෑමක රස අපිට දැනෙන්නේ හරියටම
කෑම ඇනවුම් කරන වෙලාවේ, අතින් අනන වේලවේ, අනපු ආහාර ටික කටට ඇරන් යනකොට,
දිවේ කෑම තැවරෙන, කටේදී මිශ්‍රවෙන, උගුරෙන් ගිලින වෙලාවන් ගෙන් ඇත්තටම මොන වෙලාවේද?

ඇත්තටම මේ වගෙන් දිවේ කෑම තැවරෙන, කටේදී මිශ්‍රවෙන වෙලාවේ විතරනේ.
රසම රස චොකලට් අයිස් ක්‍රීම් එකක් ගැන හිතන්න. නිහඬව මෙනෙහි කරන්න. එහි රසවත් බව.
වෙන කල්පනා අමතක කර එය දිවේ තැවරෙන මොහොතේ එහි රස ගැන අවධානය යොමු කරන්න.
වෙනදාට වඩා එය රසවත් බව ඔබට දැනේවි. වෙනදා යහලුවන්ගේ කතා සිනහ මැද කෑමේ රසය අමතක කර එය ගිල දැමුවත්
අද එය එසේ නොවන බව ඔබට දැනෙනු ඇත.
අජාන් බ්‍රහ්මවන්සෝ ස්වාමීන් වහන්සේත් මේ නිසා තමා වරක් දේශනා කළේ කෑමේ රස වැඩියෙන්ම රස විඳින්න ලැබෙන්නේ හාමුදුරුවරුන්ට බව.

භාවනා කරන්න. " සිහිය " පිහිටුවාගන්න. නිහඬව ආහාරය රස විඳින්න. වෙනදාට වඩා වෙනදා ආහාරයම "අද" රසවත් බව ඔබට දැනේවි.

Sunday, July 30, 2017

ජුදාස්ගේ හාදුව

ලොවම කැළඹූ " ජුදාස්ගේ හාදුව " නම් මෙම ඡා‍යාරූප‍ය දැක තිබේද?



මෙහි සිටින්නේ මෙම ගව‍යාගේ හිමිකරුවා‍ය.
ඔහු මේ ගවපොර සඳහා ඇති දැඩිකළේ‍ය. අවසාන‍යේදී උස්මහත් වූ ගව‍යා ගවපොරවලට විකුණා දමන ලදි.
ගවපොර‍යේදී ගව‍යා දැඩිලෙස තුවාල වී ලේ ගලමින් සිටින විට
දහස් ගණනක් ප්‍රේක්ශක‍යන් අතර
තමාව හැදූ වැඩූ තම පෙර ස්වාමි‍යා සිටිනු දකින ගව‍යා ඔහු වෙත දිව ‍යනවා.
ඔහු වෙත ‍යන්නේ මෙහි සිටින්නන් අතුරෙන් තමාව දන්නා එකම පුද්ගල‍යා නිස‍යි.
තව මොහොතකින් තවත් පහරදීම්වලට ලක්ව වධවේදනා විඳ මි‍ය‍යාමට නි‍යමිත බව දැනී
පිහිටක් පතා ඔහු වෙත පැමිණි‍යත් මුල් හිමිකරුවා ගව‍යාට හාදුවක් දීමට වඩා
වෙනත් කිසිදු ආකාර‍යක උදව්වක් කරන්නේ නෑ
මිනිසුන්ගේ කුරිරු බවත් අකෘතඥබවත් පෙන්වූ මෙම සිදුවීමක කැමරා කාච‍යක සටහන් වන අතර
එම ඡා‍යාරූප ශිල්පි‍යා මෙ‍ය " ජුදාස්ගේ හාදුව " Kiss of Judas ලෙස නම් කරනු ලබනවා.


Thursday, March 16, 2017

නාන කාමරේ දොර අගුල දාන්න එපා ??

මේ මොන කතාවක් ද? පත්තර වල අහන්න වෙන කතවල හැටි‍යට නානකොට ජනෙලුත් වහලා තිරරෙදිත් දාන්න වෙන කාලෙක දෙන්න ඕනේ උපදේශ‍යක් ද මේ


අපේ අදුරන සී‍යා කෙනෙක් නාන කාමරේ ලිස්සලා වැටිලා කලවා අස්ථි‍ය (neck of femur fracture) කැඩිලා. සෑහෙන පාරක් වේදන්නවෙන් කෑගැහුවත් කාටවත් ඇහිලා නෑ දොර ජනෙල් වහලා හින්දා. 
අන්තිමේදී මෙ‍යාව හො‍යගන්න බලනකොට පේන්න නැති හින්දා පැ‍ය ගානකට පස්සේ, නානකාමරේ දොර කඩලා තමා එලි‍යට අරන් ති‍යෙන්නේ.

 මම දන්න විකලාංග වෛද්‍යවර‍යෙක් (orthopaedic surgeon) මේ ගැන කි‍යපු දේවල් වැදගත් කි‍යල හිතනවා.

වැඩිහිටි අ‍ය, විශේෂ‍යෙන්ම අවුරුදු 55-60ට වැඩි අ‍ය නානකාමරවල ලිස්සලා වැටිලා සිදුවෙන අනතුරු සාපේක්ෂව සැලකි‍ය ‍යුතු ප්‍රමාණ‍යක් වෙනවා.
ඒ වගේම ආඝාත Stroke (මොල‍යේ ලේ කැටි සිරවීම්), හෘද‍යාබාධ Heart attack/ myocardial infarction වලටත් ලක්වෙන මෙවැනි අ‍යට ඉක්මණ් ප්‍රතිකාර ලැබීම ඔවුන්ගේ ජීවිත‍ය තීරණ‍ය කරන්නක්.
 අද කාල‍යේ බොහොම‍යක් නිවෙස්වල වැඩිහිටි දෙමාපි‍යන් තනිවම නිවෙස්වල රැදී සිටින අතර දරුවන් ආපහු නිවෙස්කරා පැමිණෙනේ සවස්/ රාත්‍රිකාල‍යේදී‍ය.
එමනිසා මෙවැනි අනතුරකට ලක්වෙන කෙනෙකු තවත් කෙනෙකුගේ අවධාන‍යට ලක්වෙන ඉඩකඩ බොහොම අඩු‍යි.
අනෙක් අතට නානකාමරේ දොර කැඩීමේදි තවත් අමතර අනතුරක් සිදුවීමට ති‍යෙන අවධානමද වැඩි‍ය (දොර තල්ලු කිරිමේදී වැදීමෙන්, වීදුරු කැඩීමෙන් ආදී).
 එමනිසා වැඩිහිටි කෙනෙකු නානකාමර‍යට ‍යන්නේ නාන කාමරේ දොර අගුල නොදා නම් ඒ බව දැන ගැනීමට නිවසේ අ‍යට වෙනත් සන්නිවේදන ක්‍රම‍යක් භාවිතා කිරීම කළ හැක.
උදාහරණ‍යක් විදි‍යට නානකාමර‍යේ විදුලි ආලෝක‍ය දැල්වීම, දොර ඉදිරි‍යේ තිබෙන සෙරෙප්පු දෙක නොමැති වීම.

මෙවැනි දෙ‍යකින් අනතුරකට ලක්වූ රෝගි‍යා තවත් අමතර අනතුරකට ලක් නොකර ඉක්මණින් වෛද්‍යාධාර කරා ‍යොමු කළ හැකිවනු ඇත.

Tuesday, December 13, 2016

එම සිදුවීම වාසනාවන්තද? අවාසනාවන්තද?

ගොඩ්වින් සමරරත්න මහතා ගැන මම කළින් ලිපියකින් සඳහන් කළා.
එතුමා මෙම චීන බෞද්ධ කතාව භාවනා වැඩසටහනකදී කියන ලද්දකි.
සමහරවිට වෙනත් තැනකදී ඔබ අසා ඇත. නමුත් ජීවිතයට ගතහැකි අරුතක් නම් අනිවාර්යයෙන්ම ඇති. 

එක්තරා ගමක නුවණැති මහල්ලෙක් සිටියා. ඔහු සතුව අශ්වයන් කීපදෙනකු සිටියා.
එක දවසක් බලන කොට ඔහුගේ එක ලස්සන අශ්වයෙක් නැතිවෙලා .
පැනලා ගිහින්.  දැන් මුලු ගමම ඔහු වෙත පැමිණ මෙහෙම කියනවා.
" ඔබ සතුව සිටි හොඳම අශ්වයා නැතිවෙලා. ඔබ බොහොම අවාසනාවන්තයෙක්.  ඒක වුණේ ඔබේ කරුමෙට වෙන්න ඕනේ."  

එහෙම කියන කොට මේ වයසක මිනිසා කියනවා " සිද්ධවෙලා තියෙන්නේ අශ්වයා පැනලා ගිය එක විතරයි.
 ඔබ මේ කියන්නේ අදහසක්. වෙච්ච දේ ගැන ඔබේ විනිශ්චය.   මගේ අශ්වයා පැනලා ගිහින්. එච්චරයි. ඒකට ඍණ ලකුණු දෙන්න අවශ්‍ය නෑ."

ටික දවසකට පස්සේ අශ්වයා තවත් ලස්සන අශ්වයෙක් එක්ක ආපහු එනවා.
දැන් ගමම ආපහු ඔහුට මෙහෙම කියනවා " ඔබ පුදුම වාසනාවන්තයෙක්. නැතිවුණ අශ්වයා වෙනුවට දැන් ඔබට දෙන්නෙක්ම ඉන්නවා."
එතකොට ගැමියා කියනවා " ඕක නවත්තාගන්න. මට දැන් අශ්වයෝ දෙන්නෙක් ඉන්නවා. එච්චරයි .ඒකට ධන ලකුණු දෙන්න ඕනේ නෑ. "
ඔහුගේ පුතා අශ්වයා පුරුදු කරන්න ගිහින් ඇද වැටිලා කකුල කඩාගෙන සදාකලික කොරෙක් වෙනවා.
නැවතත් ගමේම අය ඔහුට කියනවා "  ඔබ බොහොම අවාසනාවන්තයෙක්. ඒකනම් අසුබ නිමිත්තක්"
ඔහුගේ උත්තරය කළින් විදියමයි.
ටික කලකට පස්සේ දරුණු යුද්ධයක් එනවා. ගමේම තරුණයන්ව යුද්ධයට බඳවා ගන්නවා අර තරුණයාව හැර- ඒ ඔහු ආබාධිත නිසා.
යුද්ධය දරුණුවෙනවා. බොහොමයක් දෙනාට නැවත එන්න වාසනාව නැති වෙනවා.

සිදුවන දේ එන විදියට බාර ගන්න. අර වයසක මිනිසාට තිබුණේ නෑ සිදුවිය යුතු හෝ සිදු නොවිය යුතු දේ ගැන ප්‍රශ්නයක්. 
ඒ ගැන කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ.
සිදුවන දේ එලෙසම සිදුවේවි. ඔබ ඒ දෙස බලන විදිය වෙනස් කරගන්න. සතුට සැම විටම ඔබ සතුවේවි.

Wednesday, December 7, 2016

සිත - - සිතුවිලි - - භාවනාව

ගොඩ්වින් සමරරත්න මැතිතුමා මෙරට පහළවූ විශිෂ්ට භාවනාගුරුවරයෙක්. එතුමා අභාවප්‍රාප්තවීමට පෙර පැවත්වූ ධර්ම සාකච්ඡාවක අයෙකු සිතුවිලි සමඟ ගැටීම සහ භාවනාව ගැන හොඳ ප්‍රශ්නයක් අහනවා. මෙය සඳහන් වෙන්නේ එම ධර්ම සාකච්ඡාව ඇසුරෙන් ලියැවුණු " කැඩපතක අසිරිය" කෘතියේ.


Monday, August 8, 2016

බදු ගෙවන්න පංසල් යාම

" මොකක්ද මේ ආයෙම පංසලේ උත්සවයක්ද? ගිය මාසෙත් මොකක්ද තිබ්බනේ. මෙහෙම සල්ලි දෙන්නනම් ඉතින් සල්ලි ගහක්වත් හිටවන්න වෙයි "
" ඒකනම් තමා ඒ වුණාට මොකද රුපියල් 500ක් දුන්න අපිට වඩා රුපියල් 200ක් දුන්න එහා ගෙදර මිනිහව තමා හාමුදුරුවෝ ලොකු කරගෙන හිටියේ. "
"ඔය කීවට ඉතින් කොච්චර කල් චීවරේ ඉඳී කියල කවුද දන්නේ.."
"ඔයාට මතකද මංදා 2005 අවුරුද්දේ තාත්තගේ පිංකමටත් හාමුදුරුවෝ වැඩි වෙලා හිටියේ නෑනේ. "
"අනේ ඉතින් අපි ඉන්න කම් හොඳා.."

ගෙදර එකම යුද්දයක්. ඇයි මේ? මේ කතාව මට කියන්න කල්පනාවුණේ දවසක් දළදා මාළිගාවේ තිබ්බ
දානයක් අන්තිමේදී ඒ ලොකු හාමුදුරුවෝ දේශනා කරපු දෙයක් හා සම්බන්ධ දෙයක අත්දැකීමක් ලැබුණු නිසයි.
ඇත්තටම එදා අපේ යහලු ආදි ශිෂ්‍යයෝ කීපදෙනෙක් එකතුවෙලා කරපු දානය හිතුවාට වඩා සාර්ථක වුණා. දානයත් මහ ඉහළින් තිබුණා.
සමහර වෙලාවට මේ දේවල් ගැන් උන්වහන්සේට තියෙන අත්දැකීම් නිසා දානයේ ආනිශංස ගැන ධර්ම දේශනයක් කළා.
මේ ගැන අපිට නිතර අහන්න ලැබෙන හින්දා ඒ ගැන මම කියන්න යන්නේ නැතත් උන්වහන්සේ දේශනා කළ එක් කරුණක් මට තදින්ම දැනුණා.

" මහත්තයෝ දන් දෙනවනම් ඒක පිරිසිදු සිතින් කරන්න. නගර සභාවට මාසෙට වරිපනම් ගෙවනවා වගේ පන්සලටත් මාසෙට ගෙවන්න හිතන්න එපා. එතකොට වෙන්නේ පන්සල් යන්නේ බදු ගෙවන්න වගේ"

ඇත්ත අපි අපේ තත්ත්වේ පුරාජේරුව පෙන්නත් එක්ක මහා ලොකුවට කළත් අද තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක එහෙම ලොකු ගණන් දෙන්න අමාරු වෙයි. පන්සල් වලත් අඩු පාඩු කම් බොහොමයි.
අද කාලේ රුපියල් දාහක් ආධාර දුන්නත් මොනවද හරියට කරන්න පුලුවන්.
අනෙක පන්සලේ මොනවත් හැදුවේ නැතත් ගම්වැසියෝ කියන්න බලන් ඉන්නේ
"මේ හාමුදුරුවෝ අපේ දානේ වළදනවා විතරයි හරියට බුදුගෙයක්වත් හදාගන්න උවමනාවක් නෑනේ." කියන්න.

අඩුපාඩු තියෙන්න පුලුවන් නමුත් දෙන දේ පිරිසිදු සිතින් දෙමු.
වැරදි කාගෙත් තියෙන්න පුලුවන්. නමුත් අපි මහා සංඝරත්නයට පූජාකරන්නේ එදා සැරියුත් මුගලන් හිමිවරුන්ගෙන් පැවත එන ඒ ආර්ය සඟ රුවන සිහිකරගෙනයි. චීවරයට නොගැලපෙන දේ කළොත් ඒ දේවල් ඒ අයට ලැබේවි.
දෙයක් දෙන්න ගිහින් ධර්මයත් සංඝයාවහන්සේත් විවේචනය කරලා නැති පවුත් පුරවා ගන්නවනම් ඒක කණගටුවට කාරණයක්.. 

Monday, June 6, 2016

හදිසි ආපදාවකදී ඔබත් call කරන්නේ මෙහෙමද? අඩුමතරමේ මේ දේවල් 8 වත් කියන්න.

"කවුරුහරි උදව් කරන්න.. ගින්නක්.. ඉක්මණට ඉස්පිරිතාලෙට call කරන්න.. ගොඩක් අය පිච්චිලා.."
"හලෝ හලෝ මෙ ඉස්පිරිතාලෙන් නේද.. ඉක්මණට Ambulance එක එවන්න ගොඩක් අය පිච්චිලා.."
ඇමතුම විසන්ධි විය. ඇමතුම ලබාගත් රෝහල් නිලධාරියා තක්කු මුක්කු විය..


මේ සැබවින්ම වෙන සිදුවීමක් වන අතර මෙවැනි දුරකතන ඇමතුම්වලින් අප බලාපොරොත්තුවන කාර්යය සිදු නොවනවා පමණක් නොව ඇමතුම් ග්‍රාහකයාද දැඩි අසීරු තාවයකට පත්වේ.









මෙවැනි හදිසියකදී ඉතාම වැදගත් කරුණ නම් ඔබ "කලබල නොවීමයි".
කලබල වීමෙන් කිසිදු දෙයක් නිසිපරිදි සිදු නොවන අතර සියල්ල අවුල් වීම පමණක් සිදුවේ.
එම නිසා මෙවැනි අවස්ථාවක දුරකතන ඇමතුමක් ගැනීමේදී මොහොතක් සිතන්න.
ඔබ කියන්න යනදේ නිවරැදිව ගලපා ගන්න.
පැහැදිලි ස්වරයෙන් , " අදාල" පුද්ගලයාට/ ආයතනයට දැනුම් දෙන්න.

මෙවැනි ඇමතුමක පහත කරුණු 8 තිබේනම් එය ඉතාම ප්‍රයෝජනවත් මෙන්ම ප්‍රතිඵලදායක ඇමතුමක් වනු ඇත.
1. ඔබ කවුද?- ඇමතුමේ විශ්වාසනීය බවටත්, නැවත ඔබව සම්බන්ධකරගැනීමටත් වැදගත් වේ.
2. ඔබව සම්බන්ධකරගත හැකි දුරකතන අංකයක්-නැවත ඔබව සම්බන්ධකරගැනීමට  වැදගත් වේ.
3. හදිසි ආපදාව කුමක්ද?- ගින්නක් .. පිපිරීමක්
4. නිශ්චිත ස්ථානය- "නුවර ගින්නක්" කියනවාට වඩා "නුවර අලුත් පාරේ .... හෝටලය යටම තට්ටුවේ ගින්නක්" කියන එක වඩාත් නිරවුල්ය.
5. සිදුවිය හැකි තවත් අනතුරු වේද-"ඒ තට්ටු ගොඩනැගිල්ලේ යටම ලොකු ගෑස් පිපිරීමක්.. සමහරවෙලාවට කඩාවැටෙන්න පුලුවන්. "
මෙවන් අවස්ථාවක ඔබට වෙලාවක් නැතිවුණත් අදාල අයට දැනුම් දීමට එම පුද්ගලයන් කටයුතු කරනු ඇත. උදා: රෝහලින් ගිනිනිවන හමුදාව , පොලිසිය දැනුවත් කරනු ඇත. 
6. දළවශයෙන් තුවාල කරුවන් ගණන-රෝහල් සූදානම් වීමටත්, අවශ්‍ය ගිලන් රථ ගණන එවීමටත් මෙය වැදගත්වේ.
7. දැනටමත් ලැබී ඇති සහයක පිරිස-"ගොඩනැගිල්ල තවමත් ගිනිගනිමින් තිබේ තවමත් ගිනි නිවන හමුදාව පැමිණ නැත."පොලීසියේ සහය ඇතිව තුවාලකරුවන් පාරේ වාහනවලින් රෝහලට එවමින් තිබේ.  
8. ළඟාවිය හැකි කෙටිම මාර්ගය-අධික තදබදයක් තිබෙන මාර්ග කල්තබා දැනුම් දිය හැකි අතර ඔබ දන්නා කෙටිමාර්ග තිබේනම් දනුම් දෙන්න.

"හලෝ මම ... නුවර අලුත් පාරේ .... හෝටලය යටම තට්ටුවේ ලොකු ගෑස් පිපිරීමකින් ගින්නක්.
උඩතට්ටුවලත් වීදුරු කඩාගෙන වැටෙනවා. දැනට 50කට විතර තුවාල.
පොලිසියෙන් පාරේ වාහනවලට දාල hospital එකට එවන්න පටන් ගත්තා. තාම ගිනිනිවන හමුදාව නෑ.
උසාවිය ළඟ accident එකක් පාරම block වෙලා. උඩපාරෙන් එන්න. මට මේ නොම්මරයට කතාකරන්න වෙන විස්තර ඕනෙ වුනොත් 07....."

ඔබ කලබල නොවුණහොත් මේ සියල්ලම තත්පර 30කින් කීමට ලැබෙනු ඇත.
 එය ඉක්මණ් ආධාර කඩිනමින්ම ලබාදීමට මහත් පිටිවහලක් වනු ඇත.

Monday, September 22, 2014

ජීවිතයේ වෙලාව මදිවගේ නම් භාවනා කරන්න..

ළඟදී කියවන්න ලැබුණු හොඳම ලිපියකින් තමා මේ කතාව මම දැක්කේ. නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශකතුමන් වන උපුල් ගමගේ මහතා විසින් කරන ලද ධර්ම සාකච්ඡා දෙකකින් තමා මේ උපුටා ගැනීම කළේ. කියවන්න වටිනවා. ජීවිතයට වටිනා යමක් තියෙනවා.
තෙරුවන් සරණයි!!


















































































Thursday, July 31, 2014

තෙල් බඩ නැතිවෙන්න කෑම වට්ටෝරුවක්

කොච්චර කෑමෙන් පරිස්සම්වුණත් අද කාලේ අවුරුදු 20-25 වෙද්දි කෙට්ටු කෙනෙක්ට වුණත් පොඩි පහේ " තෙල් බඩක්" එන එක ප්‍රශ්නයක්.විවාහය ළඟ එනකොට තරුණියෝ කෑම කන එකත් නවත්තලා පුදුම දුකක් විඳින්නේ ඇඟේ හැඩය තියාගන්න.













මගේ යාලුවෙක්ටත් මේ ප්‍රශ්නය තිබුණ නිසා පෝෂණවේදී විෂේශඥයෙක්ගෙන් (nutritionist) උපදෙස් අරන් සති 3-4ක් ඇතුළත් කිසිම අමතර ව්‍යායාමයක් නැතුව වේල් 3ම බඩ පිරෙන්න කන ගමන් බර කිලෝ 8ක් ( 68 60ට අඩුකරගෙනා අඩුකරගෙන තිබුණා තෙල් බඩත් නැති කරගෙනම.


මෙන්න මෙහෙමයි කෑම වේල

පොල් කිරි/ පොල් තෙල් කෑමට එකතු කිරීම සපුරා තහනම්. කෑම මිරිසට උයන්නවෙනවා.
උදේට කඩල/ කව්පි පීරිසියක්. ඒ කියන්නේ බත් පිඟානක් වගේ ගොඩාක්ම නෙවේ. සාමාන්‍ය ප්‍රමාණයක්.
10ට විතර තේ එක්ක බිස්කට් කිහිපයක් ගත්තට වරදක් නෑ. ( කිරි තේ එපාද කියලා විශේෂයෙන් කියලා නෑ)
දවල්ට බත් කන්න පුලුවන්. හැබැයි බත් අඩුවෙන්. එළවලු වැඩිපුර. ඒ කියන්නේ පිඟානෙන් වැඩිපුර තියෙන්න ඕනේ එළවලු.
මේත් එක්ක මස් කෑල්ලක් මාලු කෑල්ලක් කන්න පුලුවන්
4 ට විතර ඕනේනම් තේ එක්ක බිස්කට් කිහිපයක් ගත්තට වරදක් නෑ.
රෑට සැහැල්ලු ආහාරයක්. ඉඳි ආප්ප 6-8ක් වගේ.

short-eats කන්න බෑ
කොස්, දෙල් , දූරියන් කන්න එපා කිව්වලු. 

ගෙදර ඉඳන්ම කන බොන අයට මෙහෙම කෑම හදාගන්න එක  පහසුවුණත් නවාතැන්පලවල්වල ඉඳලා වැඩට යන එන කඩෙන්ම කන බොන අයට නම් මේක ටිකක් අමාරුවෙයි.ඒත් කමක් නෑ. පොඩි උත්සාහයක් හරි දරන්න බලන්න.

මේ දේ හැමෝටම හරියන්නේ නැතිවෙන්න පුලුවන් වගේම මේක සම්පූර්ණ ලිපියකුත් නෙවේ. 
හැබැයි හරියටම වැඩකරපු කෙනෙක්ගේ අත්දැකීමක් නිසා බෙදාගන්න හිතුවා
මේ ගැන වැඩි විස්තර ලිපියක් ළඟදීම ලියන්න බලාපොරොත්තු වෙනවා.

Sunday, June 29, 2014

බටහිර බෙහෙත් "ජාතික ආහාරය" කරගත් ලංකාවේ මිනිස්‌සු

ඖෂධ භාවිතාව සම්බන්ධව පුළුල් කතිකාවතක්‌ සමාජය තුළ ගොඩනැගෙමින් පවතින වකවානුවකි මේ. මේ වනවිට අප සමාජයට නැතුවම බැරි පුරුද්දක්‌ බවට ඖෂධ භාවිතාව පත්වෙමින් පවතියි. එය තදබල ඇබ්බැහිකමක්‌ බවට පත්ව ඇත. සාමාන්‍ය උණ, සෙම්ප්‍රතිෂ්‍යාවට පවා බටහිර ඖෂධ පොකුරු පිටින් ගිල නොදැම්මොත් බොහෝ දෙනාගේ හිත හොඳ නැත.

එය මිනිසා කෙරෙහි කිසිදු විශේෂත්වයක්‌ නොදක්‌වයි. ලෙඩ රෝග වලක්‌වා ගෙන මරණය පරාජය කිරීම මිනිසාගේ ආශාවක්‌ මිස ස්‌වභාවධර්මයාගේ කැමැත්ත නොවෙයි.

 
"එක ඩොක්‌ටර් කෙනෙක්‌ ළඟට ගියා, වැඩක්‌ නැහැ මේ එක බෙහෙතයි දුන්නේ. තාම බබාගේ උණ සනීප නැහැ. අර ඩොක්‌ටර් නම් බෙහෙත් ගොඩක්‌ දෙනවා. එක බෙහෙත් වේලෙන් උණත් සනීප වෙනවා."

"බබාට උණ වගේ ඩොක්‌ටර්, බොහෙත් මොනව හරි දෙන්න, බලෙන් හරි පොවා ගන්නම්".


මෙවැනි අත්දැකීම් ඔබටත් පොදු වන්නට ඇත. ශ්‍රී ලංකාවේ අප මෙසේ රෝග සුවපත් කර ගැනීමේ අරමුණෙන් බටහිර ඖෂධවලට වහල් වීමේ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන අතර බටහිර රටවල මීට හාත්පසින්ම වෙනස්‌ තත්ත්වයක්‌ දැකිය හැක, අප විදේශිකයකුට ඖෂධයක්‌ නියම කළ විට එය ආවාට ගියාට ගිල දැමීමට ඔහු සූදානම් නැත. එම ඖෂධය කුමක්‌ද? එහි ක්‍රියාකාරිත්වය කුමක්‌ද? අතුරු ආබාධ මොනවාද? කොපමණ කාලයක්‌ ඖෂධය ලබා ගත යුතුද? වෙනත් ඖෂධ හා ආහාර සමඟ නියම කරන ලද ඖෂධය ලබා ගැනීමේදී අතුරු ආබාධ ඇතිවේද යන ගැටලු රැසකට පිළිතුරු දීමට වෛද්‍යවරුන් වන අපට සිදුවෙයි. ලබා දෙන ඖෂධ සංඛ්‍යාව වැඩිවන තරමට විදේශිකයා අසතුටට පත්වෙයි. ඖෂධ භාවිතාව සම්බන්ධව තවමත් අපේ රටේ ජනතාව නිසි පරිදි දැනුවත්ව නොමැති වීම මේ ෙ€දවාචකයට එක්‌ හේතුවකි.


රෝග අවස්‌ථා නිර්ණය කර එම රෝග කාරකයන් පාලනය හෝ මර්දනයට ඖෂධ යොදාගත හැක. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස මිනිසාගේ ජීවන තත්ත්වය උසස්‌ කිරීමට වෛද්‍ය විද්‍යාවට හැකි වී ඇත. මේ වන විට තොටිල්ලේ සිට මිනී වළ දක්‌වාම ඖෂධ නැතුවම බැරි සංයෝගයක්‌ වී ඇත. දරුවකු මවු කුස පිළිසිඳ ගැනීමටත් පෙර සිටම මව ඖෂධ ලබා ගැනීම ආරම්භ කරයි. දරු ප්‍රසූතියේදීද ඖෂධ ලබා දීම සිදු කරයි.

පර්යේෂණ වාර්තා පෙන්වා දෙන අන්දමට අපගේ පවුලේ සාමාජිකයකු සෑම දින හතරකටම වරක්‌ අසනීප වෙයි. මීට අමතරව වයස අවුරුදු 20 ත් 45 ත් අතර කාලයේදී සෑම පුද්ගලයෙකුම වාගේ අසාධ්‍ය රෝගී තත්ත්වයකට ගොදුරු වෙයි. මේ සෑම අවස්‌ථාවකදීම පිහිටට පැමිණෙන්නේ ඖෂධයි.

රෝගීන්ට ඖෂධ නියම කිරීමට පෙර කරුණු කිහිපයක්‌ සම්බන්ධව විශේෂ අවධානය යොමු කළ යුතුය. ඖෂධ ලබා දීමෙන් රෝගියාගේ සාමාන්‍ය තත්ත්වයන් වෙනස්‌ කරන්නේද යන්න පළමුව කල්පනා කළ යුතුය. සමහර රෝගී තත්ත්ව ඖෂධ ප්‍රතිකාරවලින් තොරවම සුවවෙයි. ඖෂධ ලබා දීමෙන් රෝගියාගේ සිරුරේ සිදුවෙතැයි අපේක්‍ෂිත වෙනස්‌කම් ගැන අවබෝධයක්‌ තිබිය යුතුය. හැකි සෑම විටම ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු ඖෂධ රෝගියාට ලබා දිය යුතුය. තමාගේ ප්‍රතිකාර වලින් රෝගියාට සුවවන්නේ නම් ඒ බව දැන ගැනීමට වෛද්‍යවරයාට හැකියාව තිබිය යුතුය.

වෛද්‍යවරයකු විසින් රෝගියාට ලබා දෙන ඖෂධ නියමිත මාත්‍රාවෙන් නියමිත ස්‌ථානයේදී නිවැරැදිව ක්‍රියාත්මක විය යුතු ලෙස නිවැරදි මාර්ගය ඔස්‌සේ ලබා දිය යුතුය. නිදසුනක්‌ වශයෙන් සමහර රෝගවලට බොන බෙහෙත් වලින් සුව වීමට වැඩි කාලයක්‌ ගතවෙයි. එවැනි විටෙක එන්නත් ලබා දීමට පෙළඹිය යුතුය.

අප භාවිත කරන ඖෂධයේ අතුරු ආබාධ ගැන අවබෝධයක්‌ වෛද්‍යවරයාට මෙන්ම රෝගියාටද තිබිය යුතුය. "අනේ අර දොස්‌තරගේ බෙහෙත් බිව්වාම කරකැවිල්ල හැදෙනවා" යි රෝගීන් චෝදනා කරන මුත් එය වෛද්‍යවරයාගේ වරදක්‌ නොව රෝගියාගේ රෝගී තත්ත්වයට ලබාදෙන ඖෂධවල අතුරු ආබාධයක්‌ විය හැක. වෛද්‍යවරයෙකුගෙන් ඖෂධ ලබා ගන්නා අප රෝගය සුව වූ වහාම අපගේ හිතුමනාපෙට ඖෂධ ගැනීම නතර කර දමයි. මෙය නොකළ යුතුය. රෝගියාට ලබා දෙන ඖෂධ නතර කිරීම කෙසේ කළ යුතුද යන්න ගැන වෛද්‍යවරයාට පූර්ව අවබෝධයක්‌ තිබිය යුතුය. රෝගීන්ට ලබා දෙන සමහර ඖෂධ වල අතුරු ආබාධ සංකූලතා පැවැතියද ඒ බව දැන දැනම ඖෂධ ලබාදිය යුතු අවස්‌ථා පවතියි. එවැනි විටෙක රෝගියා සහ ඔහුගේ ඥතීන් ඒ සම්බන්ධව දැනුවත් කළ යුතුය.

මේ අනුව පෙනී යන්නේ යම් රෝගයකට ඖෂධයක්‌ ලබා දීම හෝ ලබා ගැනීම "මේ ලෙඩේට මේ බෙහෙත මේ බෙහෙත මේ ලෙඩේට" ලෙස කට පාඩමින් අච්චාරවත්ව කළ හැකි දෙයක්‌ නොවන බවයි. රෝගීන් වෛද්‍යවරුන් මෙන්ම ෆාමසි හිමියන්ද මේ ගැන ගැඹුරින් සිතා බැලිය යුතුය. මේ සඳහා දැනුම, අවබෝධය, අත්දැකීම්, හැකියාව මෙන්ම කුසලතාවයද තිබිය යුතුය. වෛද්‍යවරුන් දෙදෙනෙක්‌ එකම බෙහෙත අවස්‌ථා දෙකකදී එකම රෝගියෙකුට ලබාදුන් විට එක්‌ වෛද්‍යවරයකුගේ බෙහෙත්වලින් සුව වන්නේත් අනෙක්‌ වෛද්‍යවරයාගේ බෙහෙත් වලින් සුව නොවෙන්නේත් මේ වෙනස නිසාය.

ඖෂධයන් මගින් අපට සුවය ලැබෙයි. එය සුළු රෝගයක සිට මාරාන්තික රෝගයක්‌ දක්‌වා සුවය ලබා දෙයි. ඖෂධ වලින් ලැබෙන අතුරු ආබාධ ද එසේමය. සුළු ආබාධ වල සිට මාරාන්තික අනතුරු සිදුවිය හැක, රුබෙල්ලා එන්නත් කිරීමෙන් දැරියක මියයැම නිදසුනකි. එකම ඖෂධය වුවද රෝගියාගෙන් රෝගියාට ක්‍රියා කරන්නේ වෙනස්‌ ආකාරයටය.

වෛද්‍ය විද්‍යාව තුළදී ප්‍රධාන අරමුණු තුනකින් ඖෂධ භාවිත කරයි. රෝග සුවපත් කිරීම ඉන් පළමු වැන්නයි. රෝගී අවස්‌ථා උත්සන්න නොවී යටපත් කිරීම දෙවැනි අරමුණයි. දියවැඩියාව, අධිරුධිර පීඩනය, අපස්‌මාරය, හතිය ආදී රෝගී අවස්‌ථාවලදී ප්‍රතිකාර කරනුයේ රෝගියාට රෝගය නිසා වන අතුරු ආබාධ අවම කිරීමටය. දෙවැනි අරමුණ රෝග ඇතිවීම වළක්‌වා ගැනිමයි. ප්‍රතිශක්‌තිකරණ එන්නත් ලබාදීම, මැලේරියා කලාපයකට යැමට පෙර ඖෂධ ලබා දීම නිදසුනකි.

මිනිසාට වැළඳෙන රෝග අවස්‌ථා අවම වීමටත් නිරෝගී වීමටත් බලපාන ලද ප්‍රධාන හේතුවක්‌ වන්නේ ඖෂධ භාවිතය ඉහළ යැම නොව අපගේ සමාජ ආර්ථික ජීවන තත්ත්වය වඩා ගුණාත්මක වීම බව සිහියේ තබා ගත යුතුය. රෝග වළක්‌වා ගැනීමට මූලික අවධානය යොමු විය යුතුය. එසේ රෝගී බවට පත්වන පුද්ගලයන්ට ඖෂධීය ප්‍රතිකාර ලබා දිය යුතුය. දුම්පානය නතර කිරීමෙන් පිළිකා වලින් අත්මිදිය හැක. දිනපතා ව්‍යායාම වලට හුරු වීමෙන් හෘදයාබාධ වලින් වැළකී සිටිය හැක. ජලය වැඩිපුර පානය හා කෙඳි සහිත ආහාර අනුභවය ආහාර මාර්ගය ආශ්‍රිත පිළිකා ආදී රෝග වලින් මිදීමට උපකාරී වෙයි.

අප ඖෂධයක්‌ ලබා ගන්නා සෑම අවස්‌ථාවක්‌ම අවදානම් () සහගත වෙයි. ඖෂධයේ පවතින ගුණාංග, නියම කරන වෛද්‍යවරයාගේ අත්දැකීම, රෝගියාගේ ශරීරය ඖෂධයට ප්‍රතිචාර දක්‌වන අන්දම, පාරිසරික තත්ත්වයන් ආදී සියල්ල එකතු වී මෙම අවදානම නිර්මාණය වෙයි. ඇතැම් ඖෂධයන් ලබා දුන්විට මුල් දින කිහිපයේදී රෝගී තත්ත්වයන් උත්සන්න විය හැක. නැති රෝග ලක්‍ෂණ ඇති වෙයි.

වෛද්‍යවරුන්ට රෝගියාගේ සැබෑ රෝගී අවස්‌ථාවට ප්‍රතිකාර කිරීමට අමතරව රෝගියා සහ ඔහුගේ ඥතීන් සතුටු කිරීමට ඖෂධ නියම කිරීමට සිදුවෙයි. මෙහිදී ඖෂධ වැඩි සංඛ්‍යාවක්‌ () නියම කිරීමට සිදුවෙයි. රෝගියා සතුටු කිරීම වෙනුවට රෝගියාට සුවයක්‌ වන ඖෂධ පමණක්‌ නියම කිරීම වැදගත්ය. යම් රෝගයක්‌ ඖෂධීය ප්‍රතිකාර වලින් තොරව සුව වන්නේ නම් ඒ බව රෝගියාට පහදා දිය හැක.

මීට දශක කිහිපයකට පෙර වෛද්‍ය විද්‍යාත්මක කරුණු ඖෂධ පිළිබඳ තොරතුරු ආදිය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ නිරතවන්නන්ට පමණක්‌ සීමා වී තිබුණද මේ වන විට තත්ත්වය වෙනස්‌ වී ඇත. සාමාන්‍ය ජනතාව රෝගාබාධ හා ප්‍රතිකාර විධි ක්‍රම සම්බන්ධව වඩා දැනුවත්ය. ජනමාධ්‍ය වලද මෙය ජනප්‍රිය තේමාවක්‌ වී ඇත. මේ නිසා ඖෂධ නියම කිරීමේ ඒකාධිකාරය වෛද්‍යවරුන් වෙතින් ගිලිහී ගොස්‌ ඇත. ඖෂධයක්‌ නිසා සංකූලතාවක්‌ ඇති වුවහොත් උසාවි යැමට සිදුවන්නේ ගහෙන් වැටුණ මිනිසාට ගොනා අනින ලෙසිනි.

මේ ගෙවීයන විසිඑක්‌ වැනි සියවස වන විට විද්‍යාව හා තාක්‍ෂණය පිළිබඳ ජනතාවගේ දැඩි විශ්වාසයක්‌ පවතින අතර අත්වැරදි ඔව්හු බලාපොරොත්තු නොවෙති. ඖෂධ නිසා වන අතුරු ආබාධද නොවිය යුතු යෑයි සමාජය විශ්වාස කරයි. "දොස්‌තර බෙහෙතක්‌ දුන්නා. ඒක බීපු ගමන් ලෙඩාට අමාරු වුණා". ජනතාව පවසන්නේ එපමණකි. ඇඟිල්ල දිගුවන්නේ වෛද්‍යවරයාටය. අදාළ ඖෂධය හමුවේ රෝගියාගේ ශරීරයේ අභ්‍යන්තරයේ වුණ රසායන වෙනස්‌කම් තේරුම් ගැනීමට කිසිවකුට ඉවසීමක්‌ නැත. ජනමාධ්‍යයද ඒක පාර්ශ්වීයව වාර්තාකරණයේ යෙදෙයි. ඖෂධ භාවිතයේ ප්‍රතිඵලයක්‌ ලෙස "නැති ලෙඩ හැදෙන බව" ට විශ්වාසයක්‌ ඇත. කෙසේ වුවද මේ තේමාව විවාදිතය. පුළුල්ව සාකච්ඡාවට බඳුන් විය යුත්තකි. කොතෙක්‌ අත් වැරදි සම්ප්‍රදායක ගොඩ වෙද කම් වල සිදුවුවද ඒ ගැන බොහෝ දෙනා නිහඬය.

වෛද්‍යවරයා නියම කළ පමණින් සෑම ඖෂධයක්‌ම රෝගියා විසින් ලබාගත යුතු නැත. අදාළ ඖෂධය සම්බන්ධව සියලු කරුණු වෛද්‍යවරයාගෙන් විමසා තම අභිමතය පරිදි එය භාවිතය හෝ අභාවිතය තීරණය කළ හැක. මෙහිදී වෛද්‍යවරයාට මගපෙන්වීමක්‌ කළ හැක. ඒ අනුව රෝගියාට වාසි-අවාසි විමසා තීරණය ගත හැක.

වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමේදී ඖෂධ භාවිතාව සම්බන්ධ පහත කරුණු සම්බන්ධව විමසිලි වන්ත විය යුතුය. ඇතැම් ඖෂධ නිසා රෝග ඇති වීමත්, ආසාත්මික ප්‍රතික්‍රියා ඇති වීමත් තමාට නොගැලපෙන ඖෂධ වලින් ඈත්වීමටත් මෙය උපකාරි වෙයි. ඖෂධ භාවිත කළ පමණින් රෝග සුව වන්නේද නැත. ඖෂධ වල රසායන ප්‍රතික්‍රියාවන්, රෝගියාගේ ජාන පදනම, ඖෂධය ලබා දෙන මාර්ගය, වෛද්‍යවරයා පෙනී සිටීද නැද්ද, වෛද්‍යවරයාගේ පෞරුෂත්වය ආකල්ප හැසිරීම ආදියද රෝග සුව වීමට බලපායි. මීට අමතරව රෝගියාගේ පෞරුෂත්වය ආකල්ප, වෛද්‍යවරයා සම්බන්ධව රෝගියාගේ විශ්වාසය හා සමජ පරිසරය සාධක තත්ත්වද මීට බලපායි.

වෛද්‍යවරයකු රෝගියකුට ප්‍රතිකාර කිරීම හුදු ඖෂධ මාත්‍රාවක්‌ නියම කිරීමක්‌ පමණක්‌ නොවන අතර එය සංකීර්ණ මානුෂික ප්‍රතික්‍රියාවක්‌ බව මේ අනුව පැහැදිලි වෙයි. මුදල් ගෙවා භාණ්‌ඩයක්‌ මිලදී ගැනීමට වඩා එය වෙනස්‌ මානුෂීය ගනුදෙනුවකි.

ඖෂධ භාවිතාව සම්බන්ධව පුළුල් කතිකාවතක්‌ සමාජය තුළ ගොඩනැගෙමින් පවතින වකවානුවකි මේ. මේ වනවිට අප සමාජයට නැතුවම බැරි පුරුද්දක්‌ බවට ඖෂධ භාවිතාව පත්වෙමින් පවතියි. එය තදබල ඇබ්බැහිකමක්‌ බවට පත්ව ඇත. සාමාන්‍ය උණ, සෙම්ප්‍රතිෂ්‍යාවට පවා බටහිර ඖෂධ පොකුරු පිටින් ගිල නොදැම්මොත් බොහෝ දෙනාගේ හිත හොඳ නැත. කෙසේ වුවත් අපට ස්‌වභාවධර්මයා වෙනස්‌ කළ නොහැක. එය මිනිසා කෙරෙහි කිසිදු විශේෂත්වයක්‌ නොදක්‌වයි. ලෙඩ රෝග වලක්‌වා ගෙන මරණය පරාජය කිරීම මිනිසාගේ ආශාවක්‌ මිස ස්‌වභාවධර්මයාගේ කැමැත්ත නොවෙයි.

මින් පෙර කිසිම දිනක ඖෂධ ආසාත්මික නොවූ පුද්ගලයකුට වෙන ඕනෑම මොහොතක ඕනෑම ඖෂධයක්‌ ආසාත්මික විය හැක. රෝගියාගේ රෝග ලක්‍ෂණ, අතීත නිධාන ඉතිහාසය ආදිය විමසීමෙන් හා ඉතා ප්‍රවේශමෙන් හා බුද්ධිමත්ව ඖෂධ භාවිතය මේ තත්ත්වය වළක්‌වා ගැනීමට ඉවහල් වෙයි. එකම උණ රෝගය වැළඳී වෛද්‍යවරයකු වෙතට යන රෝගීන් දෙදෙනකුට ලබා දෙන ඖෂධ වෙනස්‌ විය හැක්‌කේ මේ නිසාවෙනි. එහෙත් අපේ සමහර පුද්ගලයෝ තම ඥතියාට රැගෙන යන බෙහෙත කිසිදු වගවිභාගයකින් තොරව තමාම දොස්‌තර වී ගිල දමති. අවසානයේ දී විවිධ අතුරු ආබාධ සහිතව රෝහල් ගත වෙති. අප ලබා ගන්නා ඖෂධ අපට ආකාර කිහිපයකට අනතුරු ගෙන එයි. ඉන් එක්‌ ආකාරයක්‌ වන්නේ ඖෂධ මාත්‍රාව වැඩි වී විෂවීම (overdose) යි. පැරසිටමෝල් අධිමාත්‍රා මගින් අක්‌මාවට හානිවීම නිදසුනකි. රෝගියකුගේ කායික තත්ත්වය අනුව මෙම විෂවීමේ සීමාව වෙනස්‌ වෙයි. නිදසුනක්‌ වශයෙන් අක්‌මාව හෝ වකුගඩු ආශ්‍රිත රෝගාබාධ පුද්ගලයන්ට ඉතා සුළු ඖෂධ මාත්‍රා වෙනසක්‌ වුවද විෂ සහිත වෙයි.

ඖෂධ වල ද්විතීයක බලපෑම් ඇත. අප නිතර ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන විට අපගේ ආහාර මාර්ගයේ සාමාන්‍යයෙන් සිටිය යුතු හිතකර බැක්‌ටීරියා වර්ග විනාශ වීම ආහාර අවශෝෂණය අඩාල කරයි. ප්‍රතිජීවක හමුවේ විනාශ වන බැක්‌ටීරියාවන් නිකුත් කරන විෂද අපට අහිතකර වෙයි.

ඇතැම් පුද්ගලයන්ට ඉතා කුඩා ඖෂධ මාත්‍රාවක්‌ වුවද බරපතළ අතුරු ආබාධ ඇති කරයි. එම ඖෂධයම තවත් පුද්ගලයෙකු වැඩි මාත්‍රාවකින් ලබා ගත්තද කිසිදු ආබාධයක්‌ නැත" මටනම් ඒ බෙහෙත කටේ ගෑවුණත් ඇති ඇඟ වෙව්ලනවා"යි එක්‌ රෝගියකු පවසන අතර තවත් රෝගියකු පවසන්නේ "අනේ ඒ බෙහෙත පෙති දෙකක්‌ බිව්වත් මට නින්ද යන්නේ නෑනේ.." ලෙසිනි. පුද්ගලයන්ගේ ජාන වෙනස්‌වීම් ද ඖෂධ කෙරෙහි වෙනස්‌ ආකාරයට ප්‍රතික්‍රියා කිරීමට හේතු වෙයි.

යම් කිසි පුද්ගලයකු ඖෂධ නිසා වන අතුරු ආබාධ වලට ගොදුරු වීමට වැඩිම ඉඩක්‌ දරන්නේ යම් ඖෂධයක්‌ භාවිතා කිරීමට පටන් ගෙන පළමු දිනයත් දහවන දිනයත් අතරය. දියවැඩියාව, හෘදයාබාධ, පෙනහළු හා ශ්වසන ආබාධ පවතින පුද්ගලයන් නිතර ඖෂධ භාවිත කරන හෙයින් ඖෂධ නිසා වන අතුරු ආබාධවලට පහසුවෙන් ගොදුරු වෙති. නිතර ඖෂධ භාවිත නොකරන පුද්ගලයන් ඉඳහිට බෙහෙත් වේලක්‌ ලබා ගත්තද එය දරාගත නොහැකි වන අවස්‌ථා ඇත.

සමහර ඖෂධ භාවිතා කරන සෑම පුද්ගලයන්ටම එහි අතරු ආබාධ වලට මුහුණ දීමට සිදුවෙයි. එහෙත් ඇතැම් ඖෂධ වල අතුරු ආබාධ ඇති වන්නේ සමහර පුද්ගලයන්ට පමණි. තවත් සමහර ඖෂධ වල අතුරු ආබාධවලට හේතුව එම ඖෂධය දිගු කාලයක්‌ භාවිත කිරීමයි. ඇතැම් රෝගීන් මීට වසර දහයකටත් වඩා පැරණි ඖෂධ වට්‌ටේරු තමා සමීපයේ තබාගෙන කිසිදු පරීක්‍ෂණයකට ලක්‌ නොවී ෆාමසි වලින් පමණක්‌ බෙහෙත් රැගෙන භාවිත කරන අවස්‌ථා සුලභය.

ඖෂධ නිසා ඇතිවන සමහර ආබාධ (පිළිකා ආදී) ඇති වීමට කල්ගත විය හැක. තවත් සමහර අතුරු ආබාධ ඇතිවන්නේ අදාළ ඖෂධය භාවිතය නතර කළ විටය. නිදසුනක්‌ වශයෙන් හෝර්මෝන අසමතුලිතතා ආශ්‍රිත ඖෂධ එකවර නතර නොකළ යුතුය.

ලිංග භේදය, ජාන පදනම, ආසාත්මිකතා ඇතිවීමට කලින් පැවැති හැකියාව, පෞරුෂත්වය හා ජීවන පුqරුදු ආදියද, ප්‍රතිකාර කරන වෛද්‍යවරයා සහ රෝගියා ජීවත් වන පරිසරයද අතුරු ආබාධ ඇතිවීම කෙරෙහි බලපායි. මීට අමතරව ඖෂධයේ අභ්‍යන්තර ගති=ගුණ හා ඖෂධ අතර වන අන්තර් ක්‍රියාද ඉතා වැදගත්ය. තරුණයන් යනු කුඩා වැඩිහිටියන් නොවන බව අප මතක තබා ගත යුතුය. මේ අනුව ගැලපෙන පරිදි බර අනුව මාත්‍රා නියම කළ යුතුය. ජානමය හේතුන් මත ඇතැම් පරිවෘත්තීය ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය හෝර්මෝන, එන්සයිම අපගේ ශරීරයේ නොමැති විට ඖෂධ ශරීරය තුළ එකතු වී ගැටලු උපද්දවයි. ඖෂධ නිසා අපගේ ශරීරයේ ඖෂධ ඇතිවන්නේ අප ශරීරය සමඟ ඖෂධය හෝ එහි පරිවෘත්තීය ඵල ක්‍රියා කිරීම නිසාවෙනි. නිතර ආසාත්මිකතා ඇති කරන එහෙත් වැදගත් ප්‍රතිජීවකයක්‌ වන්නේ පෙනිසිලීන් (Penicillin) ය. ආසාත්මික ප්‍රතික්‍රියා හමුවේ බහුල ලෙසම රෝගීබවට පත්වන ඉන්ද්‍රියන් ලෙස සම, ශ්වසන පද්ධතිය ආහාර මාර්ග පද්ධතිය හා රුධිරය හඳුන්වා දිය හැක. ආසාත්මික ප්‍රතික්‍රියා හමුවේ නිදහස්‌ කරන රසායන විවිධ අතුරු ආබාධවලට හේතුවෙයි. ඇඟ කැසීම, රතු පැහැවීම, මුහුණ අත-පය ඉදිමීම, ශ්වසන අපහසුව මේ අතර සුලබ වෙයි. කම්පනය නිසා මරණයට පත්විය හැක. තවත් සමහර ආසාත්මික ප්‍රතික්‍රියා හමුවේ රුධිර සෛල බිඳ වැටී නීරක්‌තිය ඇති වෙයි. රුධිර වහන සිදුවෙයි. වකුගඩු ආබාධ, රුධිර නාල ආසාධන, තවත් සුලබ අතුරු ප්‍රතිඵලයි. සමහර ඖෂධ අපගේ ශරීරයේ ස්‌පර්ශය පවා ආසාත්මික ප්‍රතික්‍රියා ඇති කරයි.

රුධිර කැටිගැසීම අඩාල වීම, ප්‍රතිශක්‌තීකරණයට බලපාන සෛල අක්‍රීය වීමද මාරාන්තික වෙයි. අක්‌මාව අක්‍රීය වීම, වකුගඩු ක්‍රියා අවහිර වීම ගැනද අවධානය යොමු කළ යුතුය. මේ අනුව පෙනී යන්නේ ඖෂධ නිසා වන ආසාත්මික ප්‍රතික්‍රියා ඇතිවීමට වඩා වලක්‌වා ගැනීම ඉතා වැදගත්වන බවයි. අශ්වයා ගිය පසුව ඉස්‌තාලය වසා ඵලක්‌ නැත.


වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා දිව‍යින පුවත්පතට සැප‍යූ ලිපි‍යකි

Saturday, June 28, 2014

වකුගඩු ලෙඩේට අත්දුටු බෙහෙත

වකුගඩු වැඩකරන්නෙන් නැතුව dialysis කරලා බොහෝම දුක්විඳින ලෙඩ්ඩු ගොඩාක් අපේ රටේ ඉන්නවා.
බටහිර වෙදකමෙන් සුවකරන්න බැරිවුණත් ඉතාම  සරල මිලක් නැතිම තරම් වන විකල්ප ක්‍රම‍යකින් මේක හොඳ කරගත්ත දොස්තර කෙනෙකුගේ අත්දැකීම කි‍යවලා බලන්න.



Sunday, May 18, 2014

ඔවුහු සැබැවින්ම අන්ධ‍යෝ වූහ. අපි ඇස් පෙනෙන අන්ධ‍යෝ වීමු

කෙනෙකුට ඇස් නොපෙනීම තරම් විපතක් ගැන හිතන්නවත් අමාරු‍යි.
උපතින්ම පෙනුම අහිමි අ‍යට මෙ‍ය කොහොම දැනෙනවා ඇත්ද?
කණවැල අල්ලන්නට,  උදව්වට කවුරුවත් නැත්නම් ඔවුන්ගේ ජීවිත මිහිපිට අපා‍යන් වනු ඇත.
නගර‍යේ සිටි අන්ධ පිරිසට උදව් පදව් කළේ හොඳින් ඇස් පෙනෙන නගරවැසි‍යන් පිරිසක්ම‍යි.
ඇතිවූ ‍යුධම‍ය වාතාවරණ‍යත් සමඟම අන්ධ පිරිස නගර‍යේ තනිකර දමා හොඳින් ඇස් පෙනුණ පිරිස පළාගි‍යහ.
කෑමක් බීමක් වත් හරි‍යට නොමැතිව අනාථ අසරණ වූ අන්ධ පිරිසට නුදුරින් පිහිටි " සතුට" නම් නගර‍යක් ගැන අහන්න ලැබුණි. ඒත් ‍යන්නේ කොහොමද? නගර‍ය අහම්ඹ‍යෙන් පසුකරන්නෙක් වත් මොවුන් කැඳවාගෙන ‍ යාමට ඉදිරිපත් නොවුණේ අවදානම් වෙලාවක නාස්ති කිරීමට තරම් කාල‍යක් නොතිබූ හෙ‍යිනි. අනික එක් අ‍යෙකුව තෝරාගන්න වුවත් ඒ කුමන අන්ධ‍යාව තෝරාගන්නවාද ‍යන්න පවා ගැටලුවක් වීමත් ‍ය. නගර‍ය පසු කරගෙන ‍යන අ‍යෙකුට අවසාන‍යේ මොවුන්ගෙන් කිසිම බේරුමක් නොවූ‍යෙන් ඔහු මෙලෙස පැවසී‍ය.
" මට හැමෝවම එක්ක ‍යන්න බෑ. මට එක්කෙනෙකුගේ අතින් අල්ලාගෙන එක්ක‍යන්න පුලුවන් .ඕනේනම්  කට්ටි‍යම පෙරහැරේ වගේ අත් අල්ලාගෙන  එන්න." කට්ටි‍යම මේ ‍යෝජනවාට කැමති වි‍ය. නමුත් මේ පුද්ගල‍යා කළේ මුලින්ම අත හිටි‍ය අන්ධ‍යාගේ අත අවසාන‍යට සිටි අන්ධ‍යාගේ අතට දීම‍යි.
දැන් කට්ටි‍යම රවුමට ‍යනවා. ‍යන්න ‍යන්න හුළං පාරකුත් ඇඟට වදිනවා. " සතුට" දැන් ළඟ‍යි දැන් ළඟ‍යි කි‍යල හිත හිත  තව වේග‍යෙන් ‍යනවා. ඒත් ඒ අසරණ‍යන් දන්නේ නෑ ඔවුන් කරකැවෙන්නේ එකම තැන බවත් ලැබෙන්නේ බොහොම තාවකාලික මා‍යවක් වගේ සැප‍යක් කි‍යලා. මේක සත්‍ය සිදුවීමක් නෙවේ මම දන්න විදි‍යට. ඒත් ලොකු අර්ථ‍යක් ති‍යෙන කතාවක්.

පන්ති‍යේ පළවෙනි‍යා වෙන්න වෙන්න කි‍යලා දෙමව්පි‍යන් බල කරලා පළවෙනි‍යා වුණාම පොඩි තෑග්ගක් දීලා කි‍යනවා ශිෂ්‍යත්ව‍යෙන් ලොකු ලකුණක් ගන්න කි‍යලා. ඒ සතුටට ආ‍යෙම මැරීගෙන වැඩ කරලා ශිෂ්‍යත්ව‍යෙන් ඉහළින්ම සමත් වුණාම ආ‍යෙම පොඩි තෑග්ගක් දීලා කි‍යනවා  ඔ‍ය කතාවම කි‍යනවා
සාමන්‍ය පෙළටවගේම උසස් පෙළටත් සතුට වෙනුවෙන් ඒක කරනවා. සතුට හො‍යාගෙන වෛද්‍යවරු ඉන්ජිනේරුවන් වෙන්න නොසෑහෙන්න මැරෙනවා. සතුට ලැබෙන්නේ නැතුවම විවාහවෙලාහරි ජීවිත‍යේ සතුට හො‍යන්න බලනවා. විවාහ වුණාම සතුට නැති තැන මත්පැන්වල පිහිට පතනවා. පර අඹුවන්ගේ පර පුරුෂ‍යන්ගේ සේවන‍ය පතනවා. බැරිම තැන දික්කසාදවෙන්න බලනවා සතුටක් හො‍යන්න.
අන්තිමේදී සතුට හො‍යමින්ම අර තාවකාලික ආස්වාද‍යේ අතරමං වෙලා සිටි‍යදීම මි‍ය‍යනවා.
නැවතත් මිනිස් උපතක්ම ලැබුණොත් මේ කතාවම නොනැවතීම වෙනවා. 

එක අතකින් අපිට මෙහෙම වෙන එක සාධාරණ‍යි. ඒ වෙන මොනවත් හින්දා නෙවේ අපේ ති‍යෙන අකෘතඥකමට

ඒ රුපි‍යලක්වත් ලේසි‍යෙන් තවකෙනෙක්ට දන්දෙන කෙනෙක් හො‍යාගන්න අමාරු මේ කාලේ ආත්ම සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ‍යක් අපේම ‍යහපත වෙනුවෙන් රජ සැප, ජිවිත‍ය පවා කැප කරලා
මේ එක තැන පල්වෙන සසරින් මිදෙන්න පාර කි‍යපු ඒ අපේ සම්මා සම්බුදු බුදුපි‍යාණන් වහන්සේගේ වචන‍ය පිළිගන්න, පිළිවෙත් පුරන්න අපේ ති‍යෙන අකමැත්ත සැක‍ය නිසා. අති දුර්ලභ මිනිස් උපතක් ලැබුවත් මිත්‍යාදෘෂ්ටික පිරිස් කොපමණ නම් ඉන්නවාද? ආබාධිත වූවන් කොපමණ නම් ඉන්නවාද? , මන්ද මානසික වූවන් කොපමණ නම් ඉන්නවාද? ආගමක් ගැන හිතන්නවත් ඉඩක් නැතිව ‍යුද්ධ‍යෙන් දිළිඳුකමින් බැටකන මිනිසුන් කොපමණ නම් ඉන්නවාද?

බෞද්ධවූ අපිවත් ඇ‍යි එහෙම නොවෙන්නේ? මොහොතක් සිතන්න.

මේ වෙසක් පොහො‍ය සම‍ය අර්ථාන්විතව ගත කරමු. පිළිවෙත් පුරමු.
අපි ඇස් පෙනෙන අන්ධ‍යෝ නොවීමට උත්සුක වෙමු.

Wednesday, May 14, 2014

සි‍යල්ල අත්හරින්න ඔබට ඒ සි‍යල්ල ලැබේවි

"අපේ තාත්තට ඉස්සර කඩ‍යක් තිබුණා. කඩේ දුම්වැටි විකුණනවට මම කැමති වුණේ නෑ.
හැබැ‍යි කඩේට ආව ගොඩක් අ‍ය කඩෙන් වෙන බඩු ගත්තෙත් ‍දුම්වැටියක් දල්වාගෙනම‍යි. මම කඩේ දුම්වැටි විකුණන එක කොහොමහරි නැවැත්තුවා.
බලාගෙන ඉඳද්දී වෙළඳාම කඩන් වැටුණා.  මොකටද ප්‍රාණඝාත‍යට අනුබල දෙන්නේ කි‍යලා ඊට පස්සේ මස් මාලු කරවල විකුණන එකත්  නැවැත්තුවා.
තවත් වෙළඳාම කඩන් වැටුණා. ඉතුරුවුණේ පාසල් ලිපි ද්‍රව්‍ය වගේ දේවල් තමා. මම කළේ හොඳ දෙ‍යක් කි‍යලා දන්න නිසා මම දුක් වුණේ නෑ.
අපේ තාත්ත හොඳ සිංහල වෙදෙක්. වෙදකම  එච්චර සරු නැති නිසා වැඩේ නවත්තලා තමා තිබුණේ.
වෙළඳාම හරි‍යන්නේ නැති හින්දා ආපහු වෙදකම පොඩි‍යට කඩේ පැත්තක පටන් ගත්තා.
පුදුම වැඩේ කි‍යන්නේ නොහිතපු විදි‍යේ ආද‍යමක් අපිට එන්න ගත්තා.කඩේනම් අවුරුද්ද පුරාම උදේ ඉඳන් රෑ වෙනකම් ඇරලා ති‍යන්න වුණ නිසා අපිට කිසිම විවේක‍යක් තිබුණෙත් නෑ.
හැබැ‍යි මේ වැඩෙන් අපිට ලොකු ආද‍යමකුත් එක්ක ලොකු විවේක‍යකුත් ලැබුණා.
මේ විශ්ව‍යේ හැටි එහෙම‍යි. ඔබ හොඳක් කළොත් ඔබට පොලි‍යත් එක්ක ලැබෙනවා."

"ඔබට ඕනේ ධන‍ය නම් මිල මුදල් ගැන ආශාව අතහැර දන්දෙන්න.
ඔබට ඕනේ කාල‍ය නම් ඔබේ කාල‍ය අන් අ‍යගේ සැපත සඳහා ශ්‍රම දාන‍ය කරන්න.
නමුත් ති‍යෙන ටිකත් නැතිවේ‍යැ‍යි බි‍යෙන් අපි මිල මුදල්
දන්දෙන්න බ‍ය‍යි. දන්න දේ කාටවත් කි‍යලා දෙන්න බ‍ය‍යි ඔහු දැනුමෙන් අපිව අභිබවා ‍ය‍යි කි‍යලා. 
නමුත් අපි තේරුම් කරගත ‍යුතු‍යි වී අහුරක් පැළ වෙන්න දැම්මොත් ඒ වෙලාවට අපිට නැති වෙනවා ඒක ඇත්ත නමුත් පැළ වුණාම නොසිතූ විදි‍යට පොලි‍යත් එක්ක අපිට ලැබෙන බව.
"


මේ කතාව මට කිවුවේ නිල්ලඹ භාවනා මධ්‍යස්ථාන‍යේ බොහෝ කාල‍යක් සිට භාවනානු‍යෝගීව ඉන්න ‍යෝගිතුමෙකුයි.
මෙහෙම පළකරනවට මම අවසර‍යක් ගත්තේ නැති හින්දා නම සඳහන් කළේනම් නෑ.
නමුත් ජීවිත‍යට ගත ‍යුත්තක් ති‍යෙන බව මට තේරුණු නිසා තමා මෙහෙම පළකළේ. 

Sunday, March 9, 2014

අම්මා කෑම කාලාද ඉන්නේ?

අපි ඉස්කෝලේ ‍යන කාලේ පහ වසරේ පන්ති‍යේදී (ඒ කි‍යන්නේ 1997 අවුරුද්දේ. අදට අවුරුදු 17කට විතර ඉස්සර කතාවක්. ) අපට උගන්වපු ගුරුතුමි‍ය අපෙන් මෙහෙම ඇහුවා.. " ඔ‍යාලගේ අම්මා උදේ නැගිටින්නේ කී‍යටද? "

ඇත්තටම එහෙම අහනකම් ඒ ගැන අපිට කිසිම අදහසක් තිබුණේ නෑ.
මොකද අපි තව නිදාගන්න කෙදිරි ගානකොට බලෙන්ම අපිව ඇහරවලා ඇදුමුත් ලෑස්තිකරලා
උදේ තේ එකත් හදලා බත් එකත් බෙදලා දවල් කෑම පාර්සලේත් බැඳලා වතුර එකත් දාලා ඔක්කොම ලෑස්තිකරලානේ.
අපි පොඩි කාලෙනේ.. බොරු කි‍යන්නේත් නැති නිසා දන්න විදි‍යට කිවා පහට කලින් ඇහැරිනවා ඇති කි‍යලා
හැබැ‍යි අම්මා තනි‍යම උදේ පාන්දර තුන හමාරට විතර ( ඊට කලින් මිසක් පරක්කු නොවන බව) නැගිටලා මේ ඔක්කොම කරනවා කි‍යලා මම පස්සේ දැනගත්තා.
අපේ ගුරුතුමි‍ය අපේ නොදන්නාකම දන්න හින්දා ඊළඟට මෙහෙම ඇහුවා. " ඔ‍යාලගේ අම්මා කන්නේ කී‍යටද? "
ඇත්තටම ඒකටත් හරිම උත්තර‍යක් අපි කාටවත් තිබුණේ නෑ. මොකද අපිව පාසලට පිටත් කරාට පස්සේ ඇ‍ය කෑම කනවා වි‍ය‍යුතු උනත් ඇත්තටම ඇ‍ය උදේට කනවාද අපේ වැඩවලින් ප්‍රමාදවෙලා රස්සාවට ‍යන හදිස්සි‍ය නිසා නොකාම ‍යනවද කි‍යලවත් අපි දැනගෙන හිටි‍යේ නෑ. හැබැ‍යි දවල්ටනම් අපි ගෙදර ආවට පස්සේ දවාලට කනවා කි‍යලා දැනගෙන හිටි‍යා.
ඒකි‍යන්නේ  2.30 ට විතර. (පාන්දර තුනට ඇහරලා උදේටත් හරි‍යට කෑමක් නැතිව දවල් 2.30ට කන එකේ අමාරුව දැන් තමා අපිට තේරෙන්නේ.)
කොටි කරදර තිබ්බ කාලේනේ. උදේ ගෙදරින් ‍යන අ‍ය ආ‍යෙම පණපිටින් එනවද කි‍යලාවත් කාටවත් විශ්වාස‍යක් නැති ‍යුග‍යක් තමා ඒකාලේ කි‍යන්නේ.
ඊට පස්සේ අපේ  ගුරුතුමි‍ය අපෙන් මෙහෙම ඇහුවා ඔ‍යාලා කැමතිද කවුරුහරි මෙච්චර උදව් කරලත් නිකම්වත් ඒ වෙන මහන්සි‍ය ගැන ගණන් ගන්නේ නැතිනම් උදව් කරපු අපිට හිතෙන විදි‍ය.
ඇත්තම කි‍යනවානම් අම්මා අපිවෙනුවෙන් කොච්චර මහන්සිවෙනවද කි‍යන එක මට තේරුණේ එදා.
අවුරුදු 13ක් පුරාවටම සති‍යේ දවස් 7න් 7ම( අමතර පන්ති හින්දා සති අන්ත‍යේත්) වහලෙක් වගේ, කිසිම කෙඳිරි‍යක් නැතුව කළ ඒ කැපකිරීම පුදුම සහගත‍යි. අපේ ගුරුතුමි‍ය කිවා අඩුම තරමේ ඔ‍යාලා ගෙදර ගිහින් "අම්මා කෑම කාලාද ඉන්නේ?"  කි‍යලවත් අහන්න කි‍යලා.
ඒක ඇත්තටම ඇ‍යට ලොකු සතුටක් ගෙනදේවි කි‍යලා.  ඉතින් පුලුපුලුවන් විදි‍යට පොඩි පොඩි උදව් කළත්  අධ්‍යාපන කට‍යුතු එක්ක ගොඩාක් කාර්‍ය්බහුල වෙලා තිබුණත් එදා ඉඳන් අද වෙනකම් "අම්මා කෑම කාලාද ඉන්නේ?"  වත් අහන්න මම අමතක කලේ නෑ.
ඒ වෙලාවට අම්මගේ මුහුණේ ඇඳෙන සිනා රැල්ලේ වචනවලින් කි‍යන්න බැරි අර්ථ‍යක් ති‍යෙනවා
එදා මට මේ දේ ඉගන්නුවේ කුසුම් කොඩිතුවක්කු කි‍යන මගේ ගුරුතුමි‍ය‍යි.ඇ‍යට අනේකවාර‍යක් ස්තුති වෙන්න මේ විදි‍යට අපිට උගන්වලා ඕනේ අපේ දෙනෙත් පෑදුවාට.

Saturday, February 15, 2014

හාදුව

ඇගේ කුසේ දරුවෙක්. ඔහු දැවෙන ගින්නට ගෙ‍ය තුළ සිරවී සිටි ඇ‍යව ඔසවාගෙන එළි‍යට ගෙනැවිත් බේරාගත්තා පමණි. 
ඔහු තවත් සිරවී සිටින අ‍ය සෙවීමට නැවතත් ගෙ‍ය තුළට ගි‍යේ‍ය.
සි‍යල්ල අවසන් වූ පසු මඳ විවේක‍යක් ගැනීමට ගිනිනිවන භට‍යා අසල එලිමහනේ වාඩිවි‍ය.
මේ සි‍යලුම සිදුවීම උතුරු කැරොලිනාවේ Charlotte පුවත්පතේ ඡා‍යාරූප ශිල්පි‍යා නිරීක්ෂණ‍ය කරමින් සිටි‍යේ‍ය.
ආරක්ෂිතව ඈතක සිටි ඇ‍ය ගිනිනිවන භට‍යා වෙත පැමිණෙද්දී කුමක් සිදුවේදැ‍යි සිතාගත නොහැකිවූ  ඡා‍යාරූප ශිල්පි‍යා තම කැමරාව සූදානම් කරගත්තේ‍ය.
ඇ‍යගේ සහ ඇ‍යගේ කුස තුළ සිටි දරුවන්ගේ ජීවිත බේරාගත් ඔහුවෙන්වෙන් ඇ‍යට දීමට තිබුණේ හාදුවක් පමණි.

Sunday, June 9, 2013

මෘතදේහ‍ය වෛද්‍ය විද්‍යාල‍යට දෙමුද?

මෘතදේහවලින් ඉගෙන ගැනීම වෛද්‍යවර‍යෙකුගේ ඉගෙනගන්න කාල‍යේ කෙරෙන ඉතාම වැදගත් වැඩක්. නිකරුණේ පස්වෙලා‍යන මිනි‍යකින් තවත් දහස් ගාණක් ලෙඩුන් සුවපත් කිරීමට ඉගෙනගන්න වෛද්‍යවර‍යෙකුට උදව්වක් ලැබෙනවානම් ඒක ලොකු පින්කමක්.
ඒත් කොහොමද මෙහෙම දෙන්නේ, මොනවගේ මෘතදේහද භාරගන්නේ, මැරුණගමන්ම මොකක්ද කරන්නේ, එම්බාම් කරනවද කි‍යලා ගොඩක් ප්‍රශ්න කාටත් එනවා. මෙන්න මේකට පොඩි උදව්වක් දෙන්න තම‍යි මේ ලිපි‍ය ලි‍යැවෙන්නේ.
මේ ගොඩක් ප්‍රශ්නවලට උත්තරවගේම සම්බන්ධ කරගැනීමේ දුරකතන අංකත් ඔන්න ති‍යෙනවා.
බොහොම‍යක් වෛද්‍ය විද්‍යාලවල සිදුකෙරෙන්නේත් මේ පොදු ක්‍රි‍යාපිළිවෙලම තමා.
ඒ නිසා මේ ගැන කැමැත්තක් ති‍යෙන නුවර අවට අ‍යට මේ විදි‍යට කරලා බලන්න පුලුවන්.


වැඩි විස්තර මෙතනින් ගන්න පුලුවන්
Body donation