කෙනෙකුට ඇස් නොපෙනීම තරම් විපතක් ගැන හිතන්නවත් අමාරුයි.
උපතින්ම පෙනුම අහිමි අයට මෙය කොහොම දැනෙනවා ඇත්ද?
කණවැල අල්ලන්නට, උදව්වට කවුරුවත් නැත්නම් ඔවුන්ගේ ජීවිත මිහිපිට අපායන් වනු ඇත.
නගරයේ සිටි අන්ධ පිරිසට උදව් පදව් කළේ හොඳින් ඇස් පෙනෙන නගරවැසියන් පිරිසක්මයි.
ඇතිවූ යුධමය වාතාවරණයත් සමඟම අන්ධ පිරිස නගරයේ තනිකර දමා හොඳින් ඇස් පෙනුණ පිරිස පළාගියහ.
කෑමක් බීමක් වත් හරියට නොමැතිව අනාථ අසරණ වූ අන්ධ පිරිසට නුදුරින් පිහිටි " සතුට" නම් නගරයක් ගැන අහන්න ලැබුණි. ඒත් යන්නේ කොහොමද? නගරය අහම්ඹයෙන් පසුකරන්නෙක් වත් මොවුන් කැඳවාගෙන යාමට ඉදිරිපත් නොවුණේ අවදානම් වෙලාවක නාස්ති කිරීමට තරම් කාලයක් නොතිබූ හෙයිනි. අනික එක් අයෙකුව තෝරාගන්න වුවත් ඒ කුමන අන්ධයාව තෝරාගන්නවාද යන්න පවා ගැටලුවක් වීමත් ය. නගරය පසු කරගෙන යන අයෙකුට අවසානයේ මොවුන්ගෙන් කිසිම බේරුමක් නොවූයෙන් ඔහු මෙලෙස පැවසීය.
" මට හැමෝවම එක්ක යන්න බෑ. මට එක්කෙනෙකුගේ අතින් අල්ලාගෙන එක්කයන්න පුලුවන් .ඕනේනම් කට්ටියම පෙරහැරේ වගේ අත් අල්ලාගෙන එන්න." කට්ටියම මේ යෝජනවාට කැමති විය. නමුත් මේ පුද්ගලයා කළේ මුලින්ම අත හිටිය අන්ධයාගේ අත අවසානයට සිටි අන්ධයාගේ අතට දීමයි.
දැන් කට්ටියම රවුමට යනවා. යන්න යන්න හුළං පාරකුත් ඇඟට වදිනවා. " සතුට" දැන් ළඟයි දැන් ළඟයි කියල හිත හිත තව වේගයෙන් යනවා. ඒත් ඒ අසරණයන් දන්නේ නෑ ඔවුන් කරකැවෙන්නේ එකම තැන බවත් ලැබෙන්නේ බොහොම තාවකාලික මායවක් වගේ සැපයක් කියලා. මේක සත්‍ය සිදුවීමක් නෙවේ මම දන්න විදියට. ඒත් ලොකු අර්ථයක් තියෙන කතාවක්.
පන්තියේ පළවෙනියා වෙන්න වෙන්න කියලා දෙමව්පියන් බල කරලා පළවෙනියා වුණාම පොඩි තෑග්ගක් දීලා කියනවා ශිෂ්‍යත්වයෙන් ලොකු ලකුණක් ගන්න කියලා. ඒ සතුටට ආයෙම මැරීගෙන වැඩ කරලා ශිෂ්‍යත්වයෙන් ඉහළින්ම සමත් වුණාම ආයෙම පොඩි තෑග්ගක් දීලා කියනවා ඔය කතාවම කියනවා
සාමන්‍ය පෙළටවගේම උසස් පෙළටත් සතුට වෙනුවෙන් ඒක කරනවා. සතුට හොයාගෙන වෛද්‍යවරු ඉන්ජිනේරුවන් වෙන්න නොසෑහෙන්න මැරෙනවා. සතුට ලැබෙන්නේ නැතුවම විවාහවෙලාහරි ජීවිතයේ සතුට හොයන්න බලනවා. විවාහ වුණාම සතුට නැති තැන මත්පැන්වල පිහිට පතනවා. පර අඹුවන්ගේ පර පුරුෂයන්ගේ සේවනය පතනවා. බැරිම තැන දික්කසාදවෙන්න බලනවා සතුටක් හොයන්න.
අන්තිමේදී සතුට හොයමින්ම අර තාවකාලික ආස්වාදයේ අතරමං වෙලා සිටියදීම මියයනවා.
නැවතත් මිනිස් උපතක්ම ලැබුණොත් මේ කතාවම නොනැවතීම වෙනවා.
එක අතකින් අපිට මෙහෙම වෙන එක සාධාරණයි. ඒ වෙන මොනවත් හින්දා නෙවේ අපේ තියෙන අකෘතඥකමට
ඒ රුපියලක්වත් ලේසියෙන් තවකෙනෙක්ට දන්දෙන කෙනෙක් හොයාගන්න අමාරු මේ කාලේ ආත්ම සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අපේම යහපත වෙනුවෙන් රජ සැප, ජිවිතය පවා කැප කරලා
මේ එක තැන පල්වෙන සසරින් මිදෙන්න පාර කියපු ඒ අපේ සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේගේ වචනය පිළිගන්න, පිළිවෙත් පුරන්න අපේ තියෙන අකමැත්ත සැකය නිසා. අති දුර්ලභ මිනිස් උපතක් ලැබුවත් මිත්‍යාදෘෂ්ටික පිරිස් කොපමණ නම් ඉන්නවාද? ආබාධිත වූවන් කොපමණ නම් ඉන්නවාද? , මන්ද මානසික වූවන් කොපමණ නම් ඉන්නවාද? ආගමක් ගැන හිතන්නවත් ඉඩක් නැතිව යුද්ධයෙන් දිළිඳුකමින් බැටකන මිනිසුන් කොපමණ නම් ඉන්නවාද?
බෞද්ධවූ අපිවත් ඇයි එහෙම නොවෙන්නේ? මොහොතක් සිතන්න.
මේ වෙසක් පොහොය සමය අර්ථාන්විතව ගත කරමු. පිළිවෙත් පුරමු.
අපි ඇස් පෙනෙන අන්ධයෝ නොවීමට උත්සුක වෙමු.
No comments:
Post a Comment